මේ ජීවිතයේ දී නිවන් දැකීමට මග
බුද්ධ ධර්මය
සදා, දුක ම විඳින සත්වයාට, එම දුක
වෙනුවට තිරසාර “සැප” ලබාදෙන ක්‍රමයක් සෙවූ බුදුන් වහන්සේ, ‘සැපයක්’
පවතින්නට ඉඩ නොදෙන්නේ නිරතුරුව ම “දුක”
මතු වන නිසා බව දුටුවා. දුක යලි නොඑන සේ ඉවත් කළ හැකි නම්
පමණක්, එතන තිරසාර ලෙස “සැප” පවතින බව දුටුවා. එතැන් සිට, එම දැක්ම ප්‍රායෝගික සත්‍ය
අත්දැකීමක් බවට සකස් කරන, එනම්, යලි නොනැගිටින ලෙස දුක
නිරෝධ කිරීමේ ක්‍රමවේදයක් පසක් කර
ගත්තා. බුද්ධ ධර්මය යනු ඒ, දුකෙන් මිඳී නිදහස් වී නිත්‍ය
සැපය ලබන උතුම් ක්රමවේදයයි. පිළිවෙතයි.
මේ පැවැත්ම තුළ, ගති,
බව නැත්නම් තල
31 ක් තිබෙන බවත්, ලෝක සත්වයා, කළින් කළ
මේ විවිධ ගති අනුව ලැබෙන, විවිධ ජාති වල ඉපිදෙමින්
මැරෙමින් කල්ප කෝටි ගනනක් තිස්සේ සැරි සරමින්, ගත
කරමින් පසුවන බවත්, බුදුන් වහන්සේ අපට පෙන්වා
දුන්නා. එම ගති 31 ට, දුගති 4 කුත්, සුගති 7 කුත් සහ බ්‍රහ්ම ගති/තල 20 කුත් අයිති
වන බවත් පෙන්වා දුන්නා. මිනිස් ගතියත් එකී සුගති 7 න් එකක්.
එම කිසිම ගතියක
තලයක විසීම සදාකාලික නැති බවත්, ඒ හැම තැනකදී ම නියත
ලෙස ලැබෙන එකම ප්‍රතිලාභය දුක ම පමණක් වන බවත් පෙන්වා දී, ඒ අතුරින්, දුගති
වල දුක ඉතා දැඩි බවත් සුගති වල යම් සැපතක් පෙනෙන්නට ඇතත්, එම සැප ද පරදා සිත තුළ දුක ම රජකරන බවත් පෙන්වා
දුන්නා. එපමණක් නොව, ඒ කුමන තලයක හෝ සදාකල් දිගටම නතර වැ සිටීමට බැරි බවත්, ඒ ඒ
තලයට ඇතුල් වීමටත් එහි විසීමටත් තමන් විසින් ම තමන් තුළ ගබඩා කරගන්නා, ඒ ඒ තලයට
අදාල වූ ශක්තියක් අවශ්‍ය බවත්, ඒ, ගබඩා කරගෙන තිබූ ශක්තිය ගෙවී අවසාන වන විට, එම
තලයෙන් ගැලවී ඉවත්වී යන බවත්, නැවත වෙනත් තලයකට ඇතුල් වීමට හා වාසය කිරීමට අවශ්‍ය
ශක්තියක් සිත් හි ගබඩා වී ඉතිරි වී තිබෙයි නම් එකී අදාල තලයෙහි නව උපතක් ඇතිවන
බවත්, අප ජීවත් වන සෑම තලයකදීම, එකී ශක්තිය තව තවත් එකතු කරගන්නා බවත්, පෙන්වා
දුන්නා.
අපට
නැති ඥාණයක් ලද බුදුන් වහන්සේ දුටු මේ කරුණු අපට දැනට පෙනෙන්නේ නෑ. අප මේ දහම
තුළින් ඉහළ තත්වයනට පත් වන විට අපටද ඒවා දැකගන්න ලැබේවි. එතෙක් ඒවා සත්‍යය යයි “විශ්වාස”
කිරීමයි කල හැකි.
බොහෝ
කාලයක් පුරා සැප විඳිමින් වැජඹෙන්නට ඇති තරම් ධණ ධාන්‍යයෙන් හා හැම භෞතික සම්පතින්ම
ආඪ්‍ය වූවෙකු සිතන්නට පුළුවන් “අද මට දුකක් නැත. මතුවට දුකක් එන්නට ද ඉඩ ක් නැත.
මගේ මතු පරපුරට ම කිසි දාක දුකක් නොඑනු ඇත. එනිසා දුකින් මිදෙන මාර්ගයක් මට කුමටද?”
ආදී වශයෙන්. එහෙත්, ඔහුගේ අතීතය ගත්තොත් - ඔහු අනන්ත දුක් විඳින්නට ඇති. වර්තමානය
ගත්තොත් - ගොඩගසා ගත් සම්පත් රැකීමට, තමනුත් තම පරපුර ත් රැකීමට වැඩ කලයුතුයි.
අනාගතය ගත්තත්, ලෙඩ රෝග වැලැක්වීම හා පාලණය කල යුතුයි. වියපත් වීම, මරණය වැනි නියත
සංසිද්ධීන් ට මුහුණ දීමට තිබේ. තමන් හා පවුලේ අය සදා අරමණියද? මරණය, මර බිය, දුකක්
නොවේවි ද? වියපත් වීමත් සමග එන ශාරීරික වේදනා යනු “දුක” නොවේද? බලවත් රෝග
තත්වයකින් හෝ දුබලතාව නිසා එකතැන් වූවොත් ? මේ ගත වෙන ජීවිතයෙන් පසු ලැබෙන ඊලඟ උපත
කොතැනක වේවි ද? සතෙක් ලෙස ? කෘමියෙක් ලෙස? උරගයෙක් ලෙස? නිරයක ? ඒ ගැන බියක් චකිතයක්
නැද්ද ? සිත නිදහස්ද? මෙවන් ව්‍යාකූල මනසක් නම්, සැප කොහිද? වත්මන් මොහොතේ තම
සිරුර පිනවා පිනවා සිටින්නට තැත් කරනු විනා, කෝ අත්විඳින නිදහසක්, මානසික සුවයක්,
සැහැල්ලුවක් ?
සැප
යනු සිතට දැනෙන වින්දනයක් ම පමණයි. කුමන කරුණක් නිසා හෝ සිතෙහි සිසිලස
නැසෙයි නම්, ව්‍යාකූල නම්, අතෘප්තිමත් නම්, සහනයෙන් නම්, සමථයක් නැතිනම්, ප්‍රකෝටිපතියෙකු
වුවද, රජෙක් වුව ද, ඔහු ඉන්නේ “දුකෙනි”. සතර අපා දුක පසෙක තබමු. සුගති 7 න් එකක්
වන මිනිස් ගතියෙහි අපට පෙනෙන තත්වය එයයි. ඉතිරි දිව්‍ය ගති 6 හි ම, වෙනසක් ඇති ද?
එහි විසීම සදාකාලික නැති නම්, මතු, නැවත අර ගති 31 ම තරණය කරමින් යද්දී, නිරයට
ත් වැටෙන්නට ඉඩ ඇත් නම්, දුකෙන් නිදහස් ද? . බ්‍රහ්ම තල වුවද සදා කාලික නොවන
නිසා, අද බ්‍රහ්ම තලයෙක සිටින්නා පවා හෙට දුක් ගොඩට ම නොවැටේවි ද? එනම් පවතින තල
31 තුල “සුඛ” කියන වචනයට අරුතක් සෙවිය හැකිද? (අනාගාමී ඵලය පූර්ණ කළ උත්තමයින්
පිවිසෙන බ්‍රහ්මත්වය පමණක්, නැවත කිසිඳු උපතක් නොලබා, එතැනින් ම පරිනිබ්බායී වන
තත්වයක් බව ධර්මයේ පැහැදිළිව තිබේ. )
උපදින
උපදින සෑම තලයක ම නියත සාරාංශ ප්‍රතිඵලය, ප්‍රතිලාභය, ඒ දුක ම නම්, දුක නැති කිරීමට, තලයෙන් තලයේ යලි යලිත් ඉපදීම
නවතා දැමිය යුතු බවත්, ඊට පුන පුනා ‘බව’ (පුනබ්භව) තනන, බීජ තනන ශක්තිය සපයන, ජීවය
දෙන, මුල්, ගලවා දැමිය යුතු බවත් පෙන්වා දුන් බුදු පියානන්, ඒ මුල් මොනවාද? ඒවා
උදුරා දැමීම සඳහා කලයුතු ක්‍රියා පටිපාටිය කුමක්ද? යන්න ඉතා පැහැදිළිව පෙන්වා
දුන්නා. ඒ ක්‍රියා පටිපාටිය තමයි “බුද්ධ ධර්මය” යනු.
‘බුද්ධ
ධර්මය’ නමින් නම් කළත්, මෙය අප ගොතම බුදු
පියානන් විසින් සොයා ගත් අළුත් ධර්මයක් නිසා “බුද්ධ ධර්මය” වූවා නොවේ. පෙර
වැඩහුන් අපමණ වූ සියළු බුදු වරයින් විසින් ද සොයා දැනගෙන දේශණා කෙරුනේ ත් මේ දහම
මයි. “බුද්ධ ධර්මය” යන නම ඊට ලැබෙනුයේ, හුදෙක් එම දහම බුදු කෙනෙකු විසින් දේශණා
කරන නිසාම නොව, එය “බ+උද්ද = බව+උද්ද”
යන අරුතින් “බුද්ධ” වන නිසා බව සැළකිය යුතුය. (මතු විග්‍රහ වන “බුද්ධානුස්සතිය”
ආදියෙහි අර්ථය විවරණය කෙරෙන විට මෙය මනාව තහවුරු වනු ඇත).
(පාලි භාෂා විශාරධයින්, මෙවන්
සංධි විසංධි කිරීම් තරයේ ප්‍රතික්ෂේප කරනු පෙනෙයි. ඊට, පාලි භාෂා ව්‍යාකරණ රීතීන් ගෙනහැර
පාති. පාලි බස, එවැනි භාෂා නීති රීති සහිතව යම් දේශයක වැසියන් භාවිතා කළ බසක් නොවන
බවට සාධක එමටය. ලංකාවේදී ග්‍රන්ථාරූඪ වුණු ත්‍රිපිටක වලට පෙර “පාලි” බසින් ලියැවුනු
කිසිදු ලිපියක්, සටහණක්, ලෝකයේ කිසිම තැනකින් මෙතෙක් සොයාගෙන නැත. බුද්ධ කාලය යනු,
උන් වහන්සේ වැඩ සිටි දේශය, ඉහළ මට්ටමට උගත් වියත් පඬිවරු සිටි යුගයක් බව, එම
ඉතිහාසය කියයි. එදා එහි මාගධී හෝ පාලි භාවිතා වුණා නම්, ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි
එකක් දෙකක් හෝ ඉතිරිව තිබිය යුතුමය. එනිසා මාගධී බස යනු, අද යම් කෙනෙක් පවසන
පරිදි, “මගධ නම් දේශයක” භාවිතා වූවක් නොවන
බව දැකිය යුතුය. ඉතා පැහැදිළිව පෙනෙන කරුණ වන්නේ, “පාලි හෝ මාගධී” නමින් වන
මෙම බස, මුළින්ම භාවිතා කෙරුනේ “බුද්ධ ධර්මය” දේශණා කිරීමටමයි යන්නයි.
බුදුන් වහන්සේ, මෙම ධර්මය, කිසිම ජනතාවක් භාවිතා කරන බසකින් දේශණා නොකළේ, කාලයෙන්
කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදුවන උච්ඡාරණ වෙනස්කම් තුළින් එවන් භාෂා විපරිණාමය
වන නිසා, එහිදී ධර්ම අර්ථ ද වෙනස් වන්නට හැකි ඉඩකඩ නැති කිරීමට යයි මතයක් ඇත. එසේම,
පෙර වැඩ සිටි සෑම බුදු වරයෙක් ම ධර්මය දේශණෙ කළේ “මාගධී” (මග+අධි = අධිගමයට මග) බසින් බැවින් අප ගොතම බුදුන් ද
මාගධී බසින් ධර්මය දෙසූ බවට තවත් මතයකි. කෙසේ වෙතත්, භාෂා රීතීන් ගෙනහැර දක්වන පිරිස
තර්ක කරනුයේ, බු.ව 915 කාළයේ බුද්ධඝෝෂ නමින් වූ පැවිදි හිමි නමක් විසින්, අටුවා
පරිවර්ථණය කර ලියා තිබෙන “විසුද්ධි මග්ගය” හි දී තිබෙන අර්ථ යන් නිවැරදියැ’යි ගෙන ඒ
පදනම් කර ගෙනය. එම නිසා, ගෙන හැර පාන පාලි ව්‍යාකරණ රීතීන් පිළිගත නොහැකිය.)
පවතින
අන් හැම දෙයක්ම මෙන්, බුද්ධ ධර්මයද ජීවමාන ව පවතිනුයේ, ඇසීමට ලැබෙනුයේ කෙටි කලක්
තුළ පමණකි. (“මේ බුද්ධ සාසනය ද ජීවමාන ව පවතිනුයේ වසර 5000 ක් පමණකි” යැයි කියැවේ).
බුද්ධ ධර්මය ජීවමානව පවතිනවා යනු, නියම ධර්මය වන, දුක නැති කිරීමේ මඟ අසන්නට
දකින්නට තිබීමත්, එහි පෙන්වන ප්‍රතිපත්ති පුරමින්, සත්‍යය වශයෙන්ම එම මාර්ගයේ
ගමන් කරන්නන් ජීවමානව සිටීමත්, සහ එහි ඵල ප්‍රතිවේධ කරන්නන් හෙවත් මගඵල
ලබන්නන් වැඩ සිටීමත් කියන අංග තුන ම ජීවමානව
පැවතීම ය. (බුද්ධ සාසනය යනු මේ පරියාප්ති සාසනය, ප්‍රතිපත්ති සාසනය
සහ ප්‍රතිවේධ සාසනය කියන අංග තුනෙහි ම එකතුවයි. ඉන් එකක් හෝ නැති තැන බුද්ධ
සාසනයක් නැත). එනම්, මින් පෙර තිබුනු බුද්ධ සාසන මෙන් ම, මේ අගනා ධර්මය, කළක්
යද්දී යටවී වැසී නැතිවී මේ සාසනය ද වැනසී
යයි. නැවත මතු කලෙක, වෙනත් බුදු වරයෙකු ලොව පහල වී, තම ස්ව ශක්තියෙන් ස්වකීය
නුවණින් තනිවම “ස්වයංභූ ඥාණයෙන්” මේ සත්‍යය ධර්මය අවභෝධ කරගෙන නව ධර්මයක්
ලෙස ඒ පැරණි ධර්මයම මතු කරති.
බුද්ධෝත්පාද
සමයන් දෙකක් අතර වුවද, දහමෙහි අර්ථ විකෘති වී නිවන් මග නොපෙනී යටපත් වී තිබී, නැවත
ඉස්මතු වන අවස්ථා ද උදාවෙති. එනම්, දහම පැහැදිළිව පවතින දිනෙක, එය නිවැරදිව ම හඳුනාගෙන
ප්‍රත්‍යක්ෂ ලෙසම දැකගන්නා ඇතැම් පුද්ගලයෝ, සෝවාන් ඵලය ලබා, බව උදුරා දැමීමේ ගමන
සම්පූර්ණ කොකර ම, එනම් ගමනේ අඩක් පමණක් සපුරා සිටියදී, මිය පරලොව යති. මෙතැනදී ඔහු
මිය ගිය ද, ඔහු දැකගත් ගබඩා කරගත් දහම් දැණුම හා දැක්ම ඔවුන් සිත් තුළ නොනැසී
පවතී. දහම යටපත්ව මගපල ලාභීන් නැති යුගයෙක වුවද, එවන් දහම (ජාත සෝතාපන්න) දුටුවෙකු නැවත මනුසත් බව ලබමින් උපත ලද හොත්, නැවත ඔහු
සිත් තුළ තැන්පත්වැ තිබුන නියම දහම මතු කර දෙන නිසා, යලිත් මගඵල ලබන්නට හැකි වන සේ,
මාරගය විවර වන නිසා, නිවන කැමති, පතන, සොයන අය ඉන් ඵල නෙළා ගනිති. සසුන යලි ජීවමාන
වෙයි. එවිට වන්නේ, ඔහු තම ස්යංභූ ඥාණයෙන් දහම අවභෝධ කිරීමක් නොවෙයි. ඔහු පෙර
ජාතියකදී අසා දැනගත් දහම ආවර්ජණය කිරීමක් පමණයි. මේ අප ගත කරමින් පසුවන කාල
වකවානුව එවන් වූ, දහම යටපත්ව තිබී නැවත මතු වන වාසනාවන්ත සමයක් බව දැක ගැනීම
සුදුසු ය.
“බුදු
දහම” යනු, දුක නැති කිරීමේ ක්‍රියා පටිපාටිය නම්, යා යුතු මාර්ගය නම්, එසේ ක්‍රියා
කිරීම හෝ යාම හෝ සඳහා, ඒ ක්‍රියා පටිපාටිය හෙවත් ගමන් මග නිවැරදිව ම අසා දැන,
අත්දැකීමෙන් අවභෝධයෙන්, හරියට ම තමන් තුළින් ම දැක ගත යුතු ම වේ. බාගෙට, අනුමාන වශයෙන් දැනගෙන
කිසිම ස්ථානයකට යා නොහැකිවා සේම , බව+උදුරා දැමීම අවශ්‍ය නම්, එම ‘බුද්ධ මාර්ගය’ ද
හරියටම දැනගැනීම අතීශයෙන්ම වැදගත් වේ. එය හරියට ම දැන ගැනීම සඳහා, අප තුළ
දැඩි උවමනාවක් උනන්දුවක් කැපවීමක් තිබිය යුතුය. අපි අපේ භෞතික සම්පත් වඩා වර්ධණය
කර ගැනීමේ ක්‍රම සෙවීමට කෙතරම් වෙහෙසක් දරමු ද? විභාග වලින් සමත් වීමට කෙතරම්
වෙහෙසක් දරමු ද? අසනීප සුව කර ගැනීමට කෙතරම් වෙහෙසක් දරමු ද? “දුක සදහට ම නැති කර
ගැනීමට” එවැනි වෙහෙස ක් උනන්දුවක් කැපවීමක් නොගැනීමට හේතුව කුමක්ද? “දුක සදහටම
නැති කර ගැනීම” හා සසඳන විට, “කළින් කී භෞතික ජයග්‍රහණ තුළ තිබෙන්නේ මොන තරම් බොරුවක්
ද? සුළු දෙයක් ද? ” කියා නිකමට හෝ කල්පනා කර බැලිම සුදුසුයි.
අවම වශයෙන්.....
මේ
කියන දහමෙන්, ඔය කියන ඵල ලැබෙනවාද? එය සත්‍යයක්ද ? බොරුවක්ද ? මෙම දහමෙහි හරය
කුමක්ද? එය සොයා බැලිය යුතු නොවේද ? ආදී වශයෙන් කුඩා කුතුහළයක් හෝ සිත්හි ජනිත විය
යුතුය. එවිට “යම් ගවේශණයක් කල යුතුයි” යන අධිෂ්ඨානය මතුවෙයි. එසේම, “හොඳම දහම බුදු
දහම ය, අනෙක් සියළු ඒවා “ආගම්” ය, බුදු දහම “ආගමක් නොව දර්ශණයකි” වැනි ආඩම්බරයකින්
“බෞද්ධයෙක් වෙමි” කියා උදම් අනන පුරාජේරු කියන අප, එම බුදු දහම, උදම් අනන දර්ශණය,
හරි හැටි නොදැන සිටීම කෙතරම් අභාග්‍යයක් ද? හාස්‍යයක්ද? ලැජ්ජාවක් ද? අවම වශයෙන්,
වෙනත් ආගමිකයෙක්, වෙනත් ජාතිකයෙක්, සමඟ කථා කිරීමට, තර්ක කිරීමට, වාද කිරීමට, කියා
දීමට, තරම්වත් දහම් දැනුමක් ඔබ තුළ තිබිය යුතුයි නේද? නැතිනම්, “බුද්ධාගම්
කාරයෙක්” වීමේ අර්ථය කුමක්ද?
එසේම, කිව යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා.
අප, යමක් තේරුම් ගත හැකි වයසට පෙර සිටම අප සතුව “මම
බෞද්ධයෙක්මි” කියන අදහස මුල් බැසගෙන තිබෙනවා. එසේම, බුද්ධ ධර්මය කියා යම් ධර්මයක්
ද අපි දැන සිටිමු. පරම්පරාවෙන් එන උරුමයක් ලෙසත්, ගුරු දෙගුරුන් ගෙන් මෙන්ම, අති
උගත්, සිල්වත්, නමගිය අති පූජණීය යති වරුන් විසින් කරන ලද දේශණා, ලියූ පොත්පත් ආදියෙනුත්
අප ලබාගෙන සිටින එම දහම් දැණුමෙහි සත්‍යතාවය, සත්‍යභාවය සහ විශ්වාසණීයත්වය,
කිසිවෙකුට අභියෝග කළ නොහැකි තරමට ම නිවැරදි යයි අපි “අදහමින්” සිටිමු.
එසේම, වෙනත් විවිධ ආගම් වලට නැඹුරු වුණු භක්තිකයින්
මෙන්ම, “ඔය හැම එකක්ම යථාර්ථවාදී නැති පල් බොරුය”
යන ආකල්ප සහිත අයද අප අතර එමට සිටිති. ඔවුන් සැම අයෙක් ම, තම තමන්ගේ “දෘෂඨියට”
එකඟ නැති කිසිවක් දෙස බැල්මක් හෙලීම හෝ ප්‍රතික්ෂේප කරති.
බුද්ධ වචනයෙන් ම, නියම ධර්මය තෝරා ගන්නා ආකාරය පිළිබඳ ගැටලුව විසඳීම පිණිස දෙසූ
“කාලාමා සූත්‍රය” මෙහිදී ගුරු කොට ගැනීම සුදුසුය. එහිදී
උන් වහන්සේ කරුණු 11 කින්
මිදී නිදහස්ව, ධර්මය සොයන සේ කේසපුත්ථක (කාලාම)
බමුණන් හට උපදෙස් දී තිබේ.
1.
මා අනුස්සාවේන - ආරංචි වලින් මිදෙන්න
2.
මා පරම්පරාය - පාරම්පරික විශ්වාස වලින්
මිදෙන්න
3.
මා ඉතිකිරාය - ජනප්‍රවාද වලින් මිදෙන්න
4.
මා පිටකසම්පදානේන - පොත් පත් වලින්
මිදෙන්න
5.
මා තක්ක හේතු - මගේ තර්කයට ගැලපීමෙන්
මිදෙන්න
6.
මා නය හේතු - මගේ න්‍යායට ගැලපීමෙන්
මිදෙන්න
7.
මා ආකාරපරිවිතක්ඛේන - බාහිර පෙනුමෙන්
හරි යයි ගැනීමෙන් මිදෙන්න
8.
මා දිට්ඨිනිජ්ජානක්ඛත්තියා - බහුතරයගේ දිට්ඨිය ගැනීමෙන්
මිදෙන්න
9.
මා භම්මරූපකාය - ගුරු වරයා උගන්වන දෙයින්
මිදෙන්න
10. මා සමණොනෝගරූති - ශ්‍රමණයින්ගේ බසින් මිදෙන්න
11. කාලාමා - කෙළෙස්
වලින් මිදී නිදහස් වන්න
ලෙසයි
එහි ඇත්තේ.
මේ කරුණු ට අනුව, ශ්‍රමණයෙක් ලෙස, ගුරුවරයෙක් ලෙස, තමන් වහන්සේ කෙරෙහි හෝ
පිටක (පොත් පත්) ලෙස තමන් දෙසූ දහම ලියැවුණු ත්‍රිපිටකය කෙරෙහි
හෝ විශේෂ ස්ථානයක් නොදී, පූර්ණ නිදහස් සිතකින් කවුරු
හෝ කියන ධර්මයක් විමසා බලන ලෙසයි උන් වහන්සේ උපදෙස් දුන්නේ.
එසේම, “බුද්ධ වචනය” යි කියා කවුරු මොනවා කියූවත්, හේතු
ඵල ධර්මය නමැති තේමා ධර්මයට ගැලපේ නම් හා ණය-විනය ට සැසඳේ නම් පමණක් එය බුද්ධ වචනය
ලෙස ගන්න - එසේ නැති කිසිවක් බුද්ධ වචනය නොවේ” කියා අවස්ථා කිහිපයකම බුදුන් වහන්සේ
දේශණා කර තිබෙනවා.
එනිසා, ඉහත 11 ආකාරයේම “එල්බ ගැනීම්” වලින් නිදහස් වී
100% ක් විවෘත්ත මනසින්, හැම කෙනෙක්ම කියන බණ, හේතුඵල දහමට අනුව සෙවිල්ලෙන් යුතුව
තේරුම් ගෙන නුසුදුස්ස අත හැර සුදුස්ස තබා ගැනීමෙන් නියම දහම සොයා ගත යුතුයි.
එහෙම
කල්පනා කළා නම්, තමන්ට ද දහම ගැන පූර්ණ
දැණුමක් දැක ගැනීම සුදුසු බව ඔබට සිත් පහල වෙනවා මය. ඔබ පන්සලෙන් පන්සලට, ගුරුවරයාගෙන්
ගුරුවරයාට මාරු වෙමින් දහමෙහි නියම සත්‍යය ඉගැන්වීම සෙවීමට පෙළඹෙනු ඇති. කුමන
අරමුණක් නිසා හෝ, “මේ බුද්ධ ධර්මය කුමක්දැ”යි සොයන සිතක් පහල වූවා නම්, සැබැවින් ම ඔබ පෙර
පින් ඇත්තෙකි. දහම දැක ගැනීමට හැකියාව තිබෙන මෙවන් යුගයක මිනිස් බව ලබා සිටින අප,
මිය යන්නට පෙර එම දහමෙහි හරය දැක නැතිනම්,
එය මහත් අවාසනාවකි.
අවශ්‍ය
වන්නේ සසරින් මිදී නිදහස් වීමේ ක්‍රමය දැනගැනීම නම්, කළ යුත්තේ නියම දහම සොයා මෙහෙයුමක්
පටන් ගැනීමයි. රට වටා පන්සල් තිබුන ද “බුද්ධාගම නම් වූ ආගම” නැමති පුද පූජා, වත්
පිළිවෙත් පිරුනු ආයතන ජාලයක් ම මිස, ඒ බොහෝ ස්ථාන වල “නිවනට යන දහම” නම් නැත. ඒවායේ වසන පැවිදි
උතුමන් මේ උතුම් මඟ දැක නැත. ත්‍රිපිටකය
ත් ඊට යා වුණු සිංහල පරිවර්තනයත් පාඩම් කරගෙන එහි ඇලී සිටිනවා මිස දහම තුළින් නිවන්
මග සොයන්නේත් නැත. දුටුවා නම්, සෙවුවා නම්, අද වන විට උන් වහන්සේලාගෙන් අති බහුතරය
මඟඵල පූරණය කර අවසාන ය. රටවැසියන් බහුතරයක් නිවනින් සැණසෙන්නට ද ඉඩ තිබිනි. පහසුවෙන්
සොයාගත නොහැකි වුවත්, “සොයන්නාට සම්භ වේ”යි කී ලෙස, උනන්දුව තිබෙයි නම් සොයා ගන්නට
පුළුවන් වේවි. ගවේශණය අරඹන්න. දැනටමත් නියම ධර්මය විවෘත්තව තිබේ.
එවිට
ඔබ විවිධ දේශකයින් දෙසන දෑ විමසිල්ලෙන් සවන් දීමටත් ඒවා තුළ නිවන් මග ඇත්දැයි
සෙවීමටත්, පෙළඹෙනු ඇත. එලෙස විවිධ දෙසුම් අසමින් යද්දී, එක් දිනෙක, හරි ගුරුවරයාත්,
නියම නිවන් මග ත්, මුනගැසෙනු වැලැක්විය නොහැකිය. එදා අප මහ බෝසතුන්, ගුරුවරුන්
මාරු කරමින් ගවේශණය දිගින් දිගටම කරගෙන ගියා සේ, උන් වහන්සේ ම ආදර්ශයට ගෙන අප ද, නිවන
ම දැඩිව අරමුණු කරගෙන, විවිධ දේශකයින්ගේ දෙසුම් වලට සවන් දීම, ඔවුන් හා සාකච්ඡා
කරමින් ගැටලු විසඳා ගැනීම තුළින්, දුක නිවන මග සොයා වෙහෙසීම වැදගත් ය. ඔබට නිවන
හරියට ම හමුවන තෙක් ම, “මෙයා තමයි නියම ගුරුවරයා, නියම කළ්‍යණ මිත්‍රයා” කියා එක
වරම එක තැනක නැවතීම නුවණට හුරු නැත. අද, “බුදු දහම මෙයැ’යි දේශණා පවත්වන හැම
කෙනෙක්ම නියම මග නොදනී. දුක නැති කරන මඟ දන්නේ, දුක නැති කිරීම සම්පූර්ණ කළ අයෙක්
හෝ ඒ මග දැක, එහි අඩ දුරක් හෝ මග ගෙවූ උත්තමයෙක් පමණි. ඔවුන් හඳුනාගත හැක්කේ, ඔවුන්
පවත්වන දේශණා තුළින් හා ඔවුන්ගේ චර්යා තුළිනි. අසන පලමු දේශණාවෙන් ම, අප මෙතෙක්
නුදුටු අළුත් යමක් පෙනෙන්නට ඇත් නම්, එතැන
මදක් නැවතී ගැඹුරින් අධ්‍යයනය කරන්න. (නමුත් ගවේශණය දිගටම කරගෙන යන්න).
නිවැරදි
දහම් දැණුම නොමැතිව, නිවන ම ‘පතමින්’ අප කරන දාන, ශීල, භාවනා වැනි
පින්කම් වලින් නිවනට අදාල ව “කිසිම ඵලයක් නොලැබේ”. යා යුතු කිනම් තැනකටදැයි නොදැන
ඉබාගාතේ යාමක් පමණකි. “මම උපතින් බෞද්ධයෙක්. මම දහම දන්නවා” කියන පුහු මානය ගලවා
බිමට බැස, “මම දහමෙහි අබැටක් පමණවත් නොදන්නවා විය යුතුමයි. දහම දන්නවා කියන්නේ
“සං+දිට්ඨික” වීමයි. එය “සම්මා දිට්ඨියට” පත්වීමේ ආරම්භය යි. සැබැවින් ම දහම “දන්නවා
නම් අද වන විට මම සෝවාන් නොවේද?” යන්න අවභෝධ කර ගත යුතුය. “මම දහම නොදනිමි”
කියන තැනට මානය දුරු කර බිමට බැසගත් ඕනෑම කෙනෙකුට නිවන් මග විවර වෙනු ඇත. එසේ නැතහොත්
ඉතිරි වන්නේ, ඔබේ උස් මාන්නය කර තබාගෙන දිගින් දිගටම තව කල්ප ගනනක් දුක් සසර ම දිගේ
පා ගෑටීමට සිදුවීම පමණකි. මෙය, ධර්ම ධර, විනය ධර වැනි ගරු නම්බු නාම දරණ කවුරුත්
දැනගත යුතු කරුණකි.
සමහරු,
“නිවන අද ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නොවෙයි, ඊට මෛත්‍රී බුද්ධ සාසනය එන තෙක් සසරෙහි
රැඳී සිටිය යුතුයි, එතෙක් දෙව් සැප ලබා ගනු පිණිස පින් කළ යුතුය” යි සිතති,
උගන්වති. අප, මේ අයුරින් කී වරක් මිනිස් බව ලබා ඇත්ද? කී වරක් බුදු වරු දකින්න ඇත්ද?
කී වරක් බ්‍රහ්ම ගති වල ඉන්න ඇත්ද? කී වරක් නැවත නිර ගත වන්නට ඇත්ද? මීලඟ බුදුවරයා
පහල වන විට, අප කුමන තලයක හිඳීවි ද? කියා කිව හැකි කාටද? . අප ලබන උපත් මරණ එකක්
වත් අප සිතන පතන අයුරකට සිදු නොවන දෑ බව දැකගත යුතුයි. අපේ කැමැත්ත ම ඉටු නොවන බව,
පැහැදිළිව පෙනෙන, අත් දුටු සත්‍යයක්. එවැනි අවිනිෂ්චිත තත්වයක මේ සසර ගමන යමින්
සිටින අපට, මෛත්‍රී බුදුන් දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කළ පමණින් අය ඉටු වේවිද
? බුද්ධ වචනයක් වන “න ප්‍රාර්ථනා හේතුවා - න ආයාචනා හේතුවා - පටිලාභෝ අභවිස්ස”
ලෙස වන, ප්‍රාර්තනා හෝ ආයාචනා වල ප්‍රතිලාභ අභව්‍ය ය (ඉටු නොවේ)” කියන අවවාදය
ගුරුකොට ගැනීම සුදුසුය. එනිසා අද අප මේ ගෙවමින් සිටින උතුම් මිනිස් බව නිම
වන්නට මත්තෙන්, මෙම මිනිස් බව සතු උපරිම ඵලය නෙළා ගැනීමය උත්සාහ ගතයුතු නොවේද?
මිනිසෙකුට පමණක් හිමි වන එම උපරිම ඵලය අරිය මගඵල පූරණය කිරීමයි. “නිවන අද ප්‍රත්‍යක්ෂ
කළ හැක්කක් නොවෙයි” කියා ධර්මයේ කිසිම තැනක බුදුන් වහන්සේ පවසා නැත. බුදුන් වහන්සේ
අවසාන වරට දෙසූ “අප්පමාදෙන සම්පාදෙත” (මත් බවින් මිදී, කෙළෙස් ප්‍රහාණය කරන්න යනු
එහි අරුතයි.) යන වචනය අනුව සිතීමයි, ක්‍රියා කිරීමයි අප විසින් කල යුතු.
බුදු දහම යනු, නිවැරදිව දහම අසා දැක ගැනීමත්, එය
ධාරණය කර ගැනීමත් සහ එම ධර්මය භාවිතා කරමින් එහි දැක්වෙන මාර්ගයේ ගමන් කිරීමත්
යන කරුණු තුනෙහි ම එකතුව ය.
මුලින්ම
අසා දැන ගැනීම. (සුනාථ)
දෙවනුව
ධාරණය කර ගැනීම. (ධාරෙථ)
අවසාන
වශයෙන් ධර්මය භාවිතා කිරීම (චරාථ)
එහි
මුල් අංගය වන, අසා දැන ගැනීම නොකළා නම්, නිවැරදිව දැන නොගත්තා නම් ධාරණය කිරීමට
යමක් නැත. ධාරණය නොවුනා නම්, ඇසූ තැනම අමතක කළා නම්, කුමක් භාවිතා කලයුතු ද ? කුමන ලෙසක හැසිරිය යුතු
ද? කුමන මගක යා යුතුද? යි දැන ගන්නට ක්‍රමයක් නැත. එම මාර්ග චර්යාව හෙවත් භාවිතය
නැති නම් ධර්මයේ ඵල ප්‍රතිවේද කරගැනීමට නොහැකිය. එහි සත්‍යතාව අත්දැක ගැනීමට නොහැකිය.
එසේම,
තමන් නුදුටු දහමක් තව කෙනෙකුට හරිහැටි කියා දෙන්නට ද බැරිය. කරන්නන් වාලේ,
අන්ධානුකරණයෙන් කෙරෙන දාන, ශීල, භාවනා, නා නා පුද පූජා වල ඵලයක් නැත්තේ, එකී අවශ්‍ය මූලික පදනම, අරමුණ නැති හෙයිනි, නියම
ඉලක්කය අප තුළ නැති හෙයිනි. අද වන විට නා නා විධ දන් දීම් පැවැත්වේ. විවිධ මට්ටමේ
ශීල ව්‍යාපාර පැවැත්වේ. එසේම නොයෙක් ආකාරයේ භාවනා කිරීම්, කරවීම්, පුහුණු කිරීම්
පැවැත්වේ. එවැන් සෑම තැනකම ඉස්මතුව ප්‍රදර්ශණය වන්නේ, නියම සද්ධර්මය නිවැරදිව අසා
දැනගෙන නැති අඩුපාඩුවයි. නියම දහම අවබෝධ වූවා නම්, උන් වහන්සේ අපට “මෙන්න මේ දේ
කරන්න” කියා පනවන ලද එකම එක ක්‍රියාව පමණක් කෙරෙන බව පෙනෙන්නට තිබිය යුතුය. අන්
සියල්ල අත් හැර තිබෙන බව පෙනෙන්නට තිබිය යුතුය. කරන්නට’යි කියූ දෙය හැර අර, නොකරන්නැ’යි
කියූ බොහෝ දෑ කරන අයෙකු ලඟ, නියම දහම නැති බව එකහෙළා කිව හැකිය. එම අඩුව නිසා, අප
කුමන පින් කමක් කළද ඉන්, නිවනට අරමුණු වුනු කිසිඳු ප්‍රතිලාභයක් නොලැබේ. එනිසා, නිවන
සාක්ෂාත් කරගැනීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය නම්, මෙතෙක් කරමින් පැමිණි වත් පිළිවෙත් සියල්ල පසෙක තබා නැවත ගමනේ මුලට ම
ගොස්, දහමේ නිවැරදි සාරාංශය හරය සෙවීමටත් එ තුළින්, නිවන් දැකීමට අප කළයුතු කුමක්ද
?, යා යුතු මග කුමක්ද? කියා පැහැදිළිව දැක, එය භාවිතා කිරීමත් අත්‍යාවශ්‍ය ය. නැතිනම්,
අපේ උත්සාහය, කැපවීම සහ වෙහෙස අපතේ යාමකි. එය, ගමන් සිතියමක් නැති, මාළිමාවක් නැති
නාවුක ගමනක් පමණි. එනිසා මුලින්ම දහම කුමක්දැයි නුවණින් විමසා බලමු.
දුක
බුදු දහමේ සාරාංශ හරය, එකම
ඉගැන්වීම, දුක සහ දුක් පැවැත්ම අවසාන කිරීමයි. දුක් පැවැත්ම පවතින තාක් කල්
“සැප” යනු ලබන්නට බැරි දෙයකි. එම සැප ලැබීමට නම් දුකෙහි පැවැත්ම නතර විය යුතුය. දුක
යනු අප සිරුරේ කිසිම ඉන්ද්‍රියයකට,
අවයවයකට, අස්ථියකට, පේෂියකට, සමට හෝ එකදු සෛලයකට හෝ දැනෙන දෙයක් නොවෙයි.
සැප මෙන්ම, දුක ද අප සිතට පමණක් දැනෙන යම් මනඃකල්පිත වූ කටුක අත්දැකීමකි. අප්‍රියජනක
වින්දනයකි.
- අප සිරුරේ යම්
තැනක පවතින ශාරීරික වේදනාවක් හෝ අකර්මන්‍ය වීමක්,
·
අප ආදරය කරන, අපට වඩාත්
සමීපයෙකු ගේ රෝගී බවක් හෝ මරණයක් හෝ වෙන්වී යාමක් හෝ ඔවුනගෙන් ලැබුනු ආදරය, සෙණෙහස,
ලාභ, ප්‍රයෝජන, රැකවරණ, හව්හරණ ආදිය නැතිවීමක්, අඩුවීමක්, බෙදී යාමක් හෝ ඔවුන් ලබන
යම් පරාජයක්, පාඩුවක්, නින්දාවක්
·
අප දකින්නට, බලන්නට, ඇසුරු කිරීමට,
උදපදවු ගැනීමට හා කිරීමට වැනි ඥාති මිත්‍ර කම්
පැවැත්වීමට අකමැති අප්‍රිය අය හා එක්වීමක්
·
අප කැමති තැනක විසීම අහිමි වීම හෝ අකමැති තැනකට විසීමට
සිදු වීමක්
·
අප කැමති දෑ නොලැබී අකමැති දෑ
ලැබීමක්
·
අපේ දේපොල වස්තුව විනාස
වීමක් අහිමි වීමක්
·
අප පතන ඉහල ජීවන මටටම් නොලැබීමක්
·
අද සිටින මට්ටමෙනුත් පහල වැටීමක්
·
අප ලබන යම් පරාජයක් හෝ බලාපොරොත්තු කඩ වීමක්
·
අපේ ජීවිතය ගැන, පවුලේ ආදරණීයන්ගේ ජීවිත ගැන, දේපල සම්පත් වැනි දෑ
ගැන බියක් සැකයක් අවදානම් බවක් වැනි හැගීමක්
·
අපේ ඇසට කණට නාසයට දිවට
සහ සිරුරට කැමති ස්පර්ශයන් නොලැබී අකමැති
ස්පර්ශයන් ලැබීමක්.
·
එසේ කැමති ස්පර්ශයන්
ලැබුන ද කල් යත්ම ඒවාට අකමැති සිතක්
පහල වීමක් ......
වැනි අවස්ථාවක අප සිතේ සතුට තෘප්තිය
නිරවුල් සැහැල්ලු සිසිල් බව නැතිව ගොස්, - කටුක බව,
අතෘප්තිය, අවුල් වියවුල් බව, අඳුරු බව, දැවෙන බව,
ලැජ්ජාව බිය ආදිය රජයයි.
දුගියෙකුටත් රජෙකුට, සිටු වරයෙකුට, කෝටි පතියෙකුටත්
වෙනසක් අඩුවක් නැතිවම, සමව මේ කටුක බව දැනෙයි. දුක
යනු එයයි.
අප මොන මට්ටමේ මොන තරාතිරමේ මොන බව, මොන ධුරය දරමින්
සිටියත්, අප මොන තරම් ඉහල සිටියත්,
අප සිතන පතන සොයන හඹන “සදා පවතින තිර
සාර මානසික සැප” අපට හමු නොවන බවත්, අපට විඳිනට ලැබෙනුයේ, ඉහත පරිදි, “දුක”
පමණක් ම වන බවත් පරම “සත්‍යය”ක් වේ. සතුව තිබෙන භෞතික
සම්පත් ප්‍රමාණයන් අනුව, එක් එක් තැනැත්තාට එම දුක එන ආකාරයේ යම් වෙනස්කම් තිබුන ද,
සෑම අයෙකු ම විඳින දුක් ප්‍රමාණයේ වැඩි වෙනසක් දැකිය නොහැකිය. අපට දැනෙන භය ත්‍රාසය
කණස්සල්ල අවිවේකය බර තාපය පැටලිලි අවුල්-වියවුල් පසුතැවීම කලකිරීම අතෘප්තිය අසහනය වැනි සියලුම කරදරකාරී කටුක සංවේදනාවන් කාටත් පොදුවේ
දැනෙන අත් විදීම් ය. දුක යන්න, “දුක්ඛසත්‍යය” ලෙස නම් කෙරුනේ, අප හඹන “සැප” යනු
තාත්විකව ග්‍රහණය කළ නොහැකි, ප්‍රායෝගිකව තිරසාර ව විඳිය නොහෙන “බොරුවක්, මායාවක්, මිරිඟුවක්” නිසාත්, දුක යනු
“තාත්වික ප්‍රායෝගික සත්‍යයක්” නිසාත් විය යුතුය.
දුක හට ගැනීම
මෙසේ විග්‍රහ වන දුක,
හටගන්නා ආකාරයත් එසේම එම දුක සහිත මේ පැවැත්ම දිගින්
දිගට යන ආකාරයත් දැක ගැනීම
අවශ්‍ය ම වේ. දුක අවසාන කළ
හැක්කේ, නැති කළ හැක්කේ, නැවත්විය හැක්කේ එවිට ය.
මම, මගේ සිරුර, මගේ පවුල, ඥාතීන්, මිතුරන්, සතුරන්,
හාම්පුතුන්, යටත් වැසියන්, ගව එළු බැටළු කුකුළු බලු බළල් ආදී නානා සතුන්, දේපල,
යාන වාහන, රන් රිදී මුතු මැණික් ධන ධාන්‍ය වැනි මම ඇතුළු මා ආශ්‍රිතව ඇති නා නා “ජාති”
වල දක්නට ලැබෙන, ආරම්භය, ලැබීම හෝ උපත, කාළයත් සමග දිරාපත් වීම, අබලන් වීම, ලෙඩ රෝග
වැළදීම විනාස වීම අහිමි වීම අතුරුදහන් වීම මිය යාම වැනි කරුණුත්, එවන් තැනකදී
මතුවන ශෝකය ගිනියම් වීම අසරණ වීම දුක හා කෝපය ද්වේශය වැනි දෑ විසින් මේ දුක උපදවන
බව බුදුන් වහන්සේට අවභෝධ වුණා.
(පුද්ගල, සත්ව, අජීවී ආදී ලෙස බෙදා වෙන් කර ගත හැකි
වුවත් මේ සියළුම “ජාති” පොදු වශයෙන් සකස් වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ධාතූන්
ගෙන් තැනුනු රූප වශයෙනි. ඒ එක් එක් රූපය වෙත, අපගේ හඳුනාගැනීම අනුව අප ලබා දෙන, ආරූඪ
කරන සංඛේත නාමය විසින් ඒවා විවිධ ජාති බවට පත් වී ඇත. එවිට එකී ජාතියෙක උපත වන්නේ,
එය “මගේ සිත තුළට පිවිසීම” නැත්නම් “මගේ
බවට පත් කරගැනීම” ලෙස ගැනීම ධර්මයට අනුව නිවැරදිය.)
මෙසේ එම ජාති මට දුක දෙන්නේ, ඉහත විස්තර කෙරුනු ලෙස
එම ජාති වෙනස් වෙමින් යන බැවින්. එනම් විපරිනාමය වෙමින් යන බැවින්. මා කැමති
අයුරින්, කැමති ස්වරූපයෙන්, කැමති පිළිවෙලටම එම කිසිම ජාතියක් හැමදාම නොපවතින බව නිසා
මේ සියළුම “ජාති” විසින් අප වෙත දුක තනා දෙන බවත් බුදුන් වහන්සේ දුටුවා. “ජාති” වල උපත, හේතුව
“සමුදය” බව උන් වහන්සේ දුටුවා. (දැනට, සමුදය යනු දුක බිහි වීම ලෙස සරලව හැඳින්වුව ත්,
එහි පුළුල් විග්‍රහය පසුව දැක ගත හැකියි)
දුක නැති කිරීම
එනිසා, දුක නැති කිරීම සදහා කළ යුතු හා කළ හැකි එකම
දෙය වන්නේ මේ “ජාති” නැති කිරීමයි. “ජාති” ඉවත් කිරීම ට, කල යුතු වන්නේ, ජාති වල
සම්භවය, උපත, (සිත තුළට පිවිසීම) නැති කිරීම, “නිරෝධ” කිරීම බව දැක ගත්තා. එය වඩා
පැහැදිළිව විස්තර කරනවා නම්, ජාතියක් ඇති වන්නේ, එම ජාතිය වෙත අප තුළ පවතින බැඳෙන
බව, ආකර්ශණීය බව හේතුකොට ගෙන ය. උදාඃ- වෛද්‍යවරයෙක් “බව” ලබන්නට ඇති වන නැඹුරුව,
කැමැත්ත නිසා එ මග යන්නා උත්සාහ කර, දිනෙක වෛද්‍යවරයෙක් “බව”ට පත්වෙයි. පොහොසතෙකු
“බව” හඹා යන්නා පොහොසතෙක් බව ට පත් වෙනු ඇත. දිව්‍ය බව ට සරිලන පිළිවෙත් පිරීමෙන්
දිව්‍ය බව ලැබ දිව්‍ය ජාතිය ලබයි. බලු බව ට ගැලපෙන පිළිවෙත් තුළින් බලු බව ලබා බලු
ජාතිය ලබයි. “බව” නිසා ජාතිය ලැබෙන්නේ එලෙසිනි.
අපි පෙර කී සියළු “බව” ම තෝරා ගන්නේ සන්තකව තබා ගන්නේ
“ඒ එක් එක් “බව” මට ප්‍රිය යි, ලං කර ගත යුතුයි, එය මට තෘප්තිය ගෙන දෙයි” ලෙසත්,
එසේම “මට අප්‍රිය යි, මා රිදවයි, මා ද එයට රිදවිය යුතුයි, පළිගත යුතුයි, වැනසිය
යුතුයි”, වැනි විවිධ බලාපොරොත්තු ඇතිව ඊට යා වෙමින්, හා වෙමින්, තන්හාව (එ තැනට+හා
වීම) ක් සහිත වීම නිසයි. එලෙස දුටු විටදී අවභෝධ වුණා, බව නැති කිරීමට නම්, ඊට පෙර
මේ තන්හා ව ඉවත් ව්යයුතු බව.
තන්හාව ඉවත් කිරීමට එය උපදින හේතුව, මුල, දැක ගත
යුතු වෙනවා. “එම තන්හා වීම, දිගටම තබා ගත යුතුයි, එය මට
තෘප්තිය ගෙන දෙයි”......., වැනි බලාපොරොත්තු උපදවා ගැනීම සඳහා, ඒ උදෙසා ඇප කැප ව ඇඳා ගත යුතුය” කියන
සිතුවිල්ල තිබිය යුතු වෙනවා. එසේ අර
තන්හාව ලඟ තබා ගැනීමට ඇප
වීම, කැප වීම, බුදුන් වහන්සේ නම් කළා “උපාදානය”
ලෙස. එනම්, තන්හාව නැති කිරීමට නම් උපාදාන නොකර සිටීම අවශ්‍ය වෙනවා.
උපාදානය නැති කරන්න නම් උපාදානය ඇතිවෙන විදිහ දකින්න
අවශ්‍යයි. ඉහත විදිහට, ඇප වෙලා කැප වෙලා අපි අල්ලා
ගන්නෙ ලං කරගන්නෙ අයිති කරගන්නෙ, අපට හසු වෙන්නෙ, මුලින්ම විෂයය කරගත් ජාතියම ද? නෑ මෙතනදී එම ජාතිය ම නොවෙයි අපට හසු වෙන්නෙ. එම
ජාතිය (ස්වරූපය) පිළිබඳව ආ, එහි විස්තරය සදහන් සන්නිවේදනයක්, පණිවිඩයක්, සඥාවත්
වැනි දෙයක් පමණයි, මෙතනදී හසු වෙන්නට තියෙන්නෙ. ඒ, මේ සියල්ල සිත තුළ සිදු වන ක්‍රියාවලියක්
නිසා, අපි මේ “උපාදානය” කරගන්නෙ චෛතසිකයක්, චේතනාවක්, සංඥාවක්, පණිවිඩයක් පමණයි. බුදුන් වහන්සේ ඒ පණිවිඩය, ඒ සංඥාව නම් කළේ “වේදනා” ලෙසයි. එහෙම නම් උපාදානය නැති කිරීම
සදහා මෙතනදී වේදනාව නැති කළ යුතු වෙනවා.
වේදනාවක් දැනීමක් සංවේදීතාවක් ජනිත වන්නේ ස්පර්ශයක්
නිසා. උදහරණ ලෙස - ඇසට, බාහිර ලෝකයේ දකින යමෙක රූපයක් පතිත වීමන් ඇසෙහි යමක්
ස්පර්ශ වූ බව දැනෙන සේ. එසේම පෙර ලද අත්දැකීමක් මතකයට පැමිණි විට එතැනදීත් අර සත්‍ය
රූපය ලෙසම අදාල ඉන්ද්‍රිය ස්පර්ෂ කරනු දැනෙන සේ. එහෙම නම් අර පණිවිඩය, සඥාව නිකුත් වෙන්නෙ මේ
ස්පර්ශයෙන් බව දැක ගත යුතුයි. මෙතනදී ස්පර්ශ වෙන්නේ, බාහිර ලෝකයෙන් එන රූපයක සංචේතනාවක්
හෝ කලින් දුටු රූපයක මතක සටහන් විසින් බිහි කරන චිත්ත රූපයක සංචේතනාවක්.
දැන් අවභෝධ වෙනවා, උපාදනය නවත්වන්නට නම්, මේ මනෝමය ස්පර්ශය ඉවත් කළයුතු බව.
මනෝමය චිත්තරූපයක් විසින් ඇති කෙරෙන මනෝමය ස්පර්ශය
නැවැත්වීමට එම චිත්ත රූපය සැබෑ ස්පර්ශයක් බවට හරවන ස්ථානය, ආයතනය විනාශ කළ යුතුයි. එනම්, මතක සටහනක්
තුළින් මනෝමය රූපයක් සැබෑ ස්පර්ශයක් බවට හරවනු ලබන මනෝමය ඇස ත්, මනෝමය ඝන්ධයක් සැබෑ
ස්පර්ශයක් බවට හරවනු ලබන මනෝමය නාසය ත්, මනෝමය ශබ්ධයක් සැබෑ ස්පර්ශයක් බවට හරවනු ලබන
මනෝමය කණ ත්, මනෝමය රසයක් සැබෑ ස්පර්ශයක් බවට හරවනු ලබන මනෝමය දිව ත්, මනෝමය පහසක්
සැබෑ ස්පර්ශයක් බවට හරවනු ලබන මනෝමය ශරීරය ත්, සහ මතක සටහන් ඔස්සේ මනෝ චිත්ත රූප සැබෑ
ස්පර්ශයක් බවට හරවන මනසත් කියන ආයතන හය හෙවත් සළායතන, මේ මනෝමය ස්පර්ශය සංස්කරණය කරන ආයතනයන් ය. එසේනම්,
ස්පර්ශය නැති කිරීමට නම්, සළායතන නැති කළ යුතුය. (ඉන්ද්‍රියයන් නැති
කළ නොහැකියි. එහෙත් ආයතන නැති කළ හැකියි. )
සළායතන ද, ඊට අවශ්‍ය පසුබිම, හෙවත් සළායතන වල අවශ්‍යතාව
අප තුල පවතින තාක් කල්, වසා දැමිය නොහැකියි. අප තුළ ගොඩ ගැසී පවතින, එසේම දැන්
වුවද ගොඩ ගැසෙමින් පවතින මතකයන්ගෙන් චිත්ත රූප (රූප, ශබිධ, ඝන්ධ, රස, ෂ්පර්ශ හා
ධම්ම රූපයන්) හෙවත් මතක සටහන් විසින් පෙන්වන රූප හෙවත් “නාමරූප” තිබෙන තාක්
සළායතන අයින් කළ නොහැකි ය. එනම්, සළායතන අහෝසි කර දැමීමට නම් නාමරූප අහෝසි
කළ යුතුය.
නාමරූප බිහි කෙරෙනුයේ, අප ගබඩා කර ගත් හා ගන්නා
සිතුවිලි පද්දතීන් හෙවත් කඳු විසිනි. අප ඉන්ද්‍රියන් මත වැටෙන මුලින් එන “ජාතිය”
අත නොහැර තබා ගත යුතුය, එය මට සුව දායකය, වැඩ දායකය යන හැඟීම විසින් තනන රැවටිලි ඥාණ
දර්ශණය විසින් කරන්නකි - නාමරූප බිහි කිරීම. එනම් එවැනි “වැරදි විකෘති ඥාණ දර්ශණ”
හෙවත් විඤ්ඤාණ පවතින තුරු නාමරූප බිහි වෙති. එනම්, නාමරූප
නැති කිරීමට නම් විඤ්ඤාණ නැති කිරීමේ අවශ්‍යතාව පැනනගී.
විඤ්ඤාණ
යනු කුමක්ද යන්න පුළුල් ලෙස අධ්‍යයනය කිරීම අවශ්‍යයි. අප අල්ලා ගන්නේ, බදා ගන්නේ
අප දකින වස්තුවම ද? පුද්ගලයාම ද? එසේ බදා ගන්නේ අපේ ඇසම විසින්ම ද? නැහැ. ඇසට
පුළුවන් කම ඇත්තේ අප ඉදිරියේ තිබෙන දේ වල රූපයක්, චිත්‍රයක් තම දර්ශණ තීරය වෙත
පතිත කර ගැනීම පමණි. එවිට එම රූපය විසින් දර්ශණ තිරය මතට කෙරෙන ස්පර්ශය මගින්
දර්ශණ තිරය උත්තේජනය වී එම උත්තේජනය වේගයෙන්
ක්ෂණයෙන් සිත වෙත සම්ප්‍රේෂණය කෙරෙයි. මෙම “උත්තේජනය” නිසා හටගැනෙන “යම් ස්පර්ශයක්
ලත් බව දැනීම” වේදනාව ලෙස ත්
“සම්ප්‍රේෂණය” සංඥාව ලෙසත් ධර්මයේ
දැක්වෙයි. දැන් මෙම සංඥාව හඳුනාගන්නා සිත, තම රුචිකත්වය අනුව තෝරා බෙදා, “සිත තුළ
තබා ගත යුතු” බවට තීරණය කරන දෑ, හෙවත් තමන්ගේ කරගත් දෑ සංඛාර යි. එතැනදී සංඛාර නිසා බිහි වන “වැරදි ඥාණ
දර්ශණය” විඤ්ඤාණය ලෙස ගැනෙයි.
(ඇස
මෙන්ම අනෙක් ඉන්ද්‍රියයන් ක්‍රියා කරන්නේත් මේ අයුරින්ම යි.)
මේ
විස්තර කෙරුනු රූප වේදනා සඥා සංඛාර විඤ්ඤාණ කියන අංග 5, ධර්මයේ දී නම් කෙරෙනුයේ පංචක්ඛන්ධ
ලෙසයි. එනිසා පංචක්ඛන්ධ යනු ඉන්ද්‍රියක් මත
ස්පර්ශ වන අරමුණක් පිළිබඳ හැඳින්වීමක් ක්ෂණිකව සිත කරා යවා, සිතෙහි පවතින රුචිය,
නැඹුරුව අනුව (යතාර්ථය නොවන, සත්‍යය නොවන) වැරදි ඥාණ දර්ශණයක් බිහි කිරීම දක්වා වන
ක්‍රියාවලිය යි. (හෙවත් එම ක්‍රියාවලිය කුඩා කොටස් 5 කට බෙදා කෙරුනු විග්‍රහය
යි)
මේ රූප වේදනා සඥා සංඛාර විඤ්ඤාණ කියන්නේ,
කඳු නැත්නම් ගොඩවල් 5ක්. ඒ කියන්නේ, රූප කන්දක් - ගොඩක්, වේදනා කන්දක් - ගොඩක්, සඥා කන්දක් - ගොඩක්, සංඛාර - කන්දක් ගොඩක්, සහ විඤ්ඤාණ කන්දක් - ගොඩක්,
ආදී වශයෙන් ගොඩවල් පහක - කඳු පහක එකතුවක්. (මෙය ස්කන්ධ ලෙස පරිවර්තනය වී
තිබීමෙන් මෙසේ “ගොඩ” හෝ “කන්ද” වශයෙන් එක එල්ලේ අවභෝද කර ගන්නට අපහසු වී තිබෙනවා)
මොකක්ද
මේ කන්ද, නැත්නම් ගොඩ ලෙස හැඳින්වීමේ අර්ථය ? අපේ ඇස ත්තපරයක් වැනි කෙටි කාලයක්
තුළත් රූප සිය ගණනක් ග්‍රහණය කර ගන්නා ගමන්ම සිත වෙත එසැණ එසැණ දීම සංඥා සිය ගණනම
සම්ප්‍රේශණය කරනවා. එවිට තමයි, සිතට සම්පූර්ණ රූපයක් දැකගන්න ලැබෙන්නේ. එයට උදාහරණයක් ලෙස “සිනමා පටියක්” ගතහැකියි.
තත්පරයක් තුළ, සිනමා පටියක රූප රාමු 4ක් දිවෙනවා. එවැනි තත්පර කිහිපයක පටි
දිවීමකින් අපට තිරය මත යම් රූප චලනයක් කථාවක් දකින්න පුළුවන්. අපේ ඇස රූප ග්‍රහණය
කරන වේගය තත්පරයකට රූප රාමු සිය ගනනක්. ඒ එක් එක් රූප රාමුව ඇතිවුන ක්ෂණයේම මිය
යනවා. ඒ සමගම ඊළඟ රූප රාමුව ඇති වෙනවා. ඒකත් ඒ ක්ෂණයේදීම මිය යනවා. ඔය විදිහට රූප
රාමු සිය දහස් ගනනක් ඇති වෙලා නැති වෙලා යනවා. “රූපං ජීරති මච්චානං” කියන්නේ රූපයක
තිබෙන මේ ඇතිවූ සැණ ම දිරාපත් වන, අස්ථානගත වන, ස්වභාවයටයි. [මෙසේ රූප ඇතිවී එසැණින් මිය ගියත්, එම රූප ගොන්න, කන්ද, ලැබුනු
අනුපිළිවෙලින් ගොනු වී තැනෙන ගෙත්තම, අප තුළ මතකය (මෘත කාය = මිය ගිය ක්‍රියාවලිය)
ලෙස, ධර්මයේ නම් “නාම” ලෙස, නොදිරා තැන්පත් වෙනවා. “නාම ගොත්තං නජීරතී” යනු එම
සංසිද්ධියයි]. ඉන් පැහැදිළි වන කරුණ වන්නේ, අප රූපයක් දකින්නට නම් ඇස විසින් එක රූපයක් නොව
රූප කන්දක් ග්‍රහණය කර ගත යුතු බවයි. ඇස මෙන්ම කණ නාසය දිව සිරුර හා මන නම් ඉතිරි
ඉන්ද්‍රියයනුත් ඔවුන්ට අනුව ශබ්ධ රූප, ඝන්ධ රූප රස රූප ආදී වශයෙන් එන රූප අරමුණු ද
කඳු හෙවත් ගොඩවල් වශයෙන් ලබාගන්නා බව එහි අරුත යි. ඇස ග්‍රහණය කරන රූප+කන්ද නිසා ඇස
තුල වේදනා+කන්දක් ජනිත වෙනවා. මෙම වේදන+ කන්ද නිසා ඇසෙන් සංඥා කන්දක් නිකුත්
වෙනවා. මෙම සංඥා+කන්ද, සිතෙහි තිබෙන රාග ද්වේශ මෝහ ගති වල බලපෑම නිසා , බැඳීම්,
එකතු කර ගැනීම්, තමන්ගේ (ස්ව) කර ගැනීම් (ස්වං) හෙවත් සංඛාර+කන්දක් (ස්වං + ඛාර à සං +ඛාර ) බවට
පත්වෙනවා. මේ වැරදි එකතු කරගැනීම් කන්ද හෙවත් සංඛාර+කන්ද අපට පෙන්වන්නේත් වැරදි
ඥාණදර්ශණ+කන්දක් හෙවත් විඤ්ඤාණ+කන්දක්.
විඤ්ඤාණය
යනු කුමක්ද කියා දැන් පැහැදිළි යි. සිතුවිලි ගොඩගසා ගැනීම, එකතු කර ගැනීම පවතින
තුරු මෙම විඤ්ඤාණ බිහි වීමද නොනවතියි. අපට ඉන්ද්‍රියයන් ගෙන එන සඥාවන්,
යසයි, වටිනවා, අත හැර දමනු නොහැකියි, මගේ කරගත යුතුයි වැනි වැනි අදහසක් මතු වීම නිසා
එම චේතනාවන් අප තුල එකතු වීම, ගොඩගැසීම සිදු වෙනවා. එම එකතු වීම් බුදුන් වහන්සේ
නම් කළේ “සංඛාර” ලෙසයි. එහෙම නම්, දැන් “සංඛාර” නැති කිරීමට කටයුතු කළයුතු වෙනවා.
සංඛාර
යනු...
“සංඛාර” ද, පෙර කථා කළ විඤ්ඤාණය මෙන්ම, පංචක්ඛන්ධයේ
ම එක් අංගයකි. අපේ ඉන්ද්‍රියය න් පහට එනම්
ඇසට කණට නාසයට දිවට සිරුරට පරිසරයෙන් එන අරමුණු හෙවත් රූප (රූප රූප, ශබ්ධ රූප,
ඝන්ධ රූප, රස රූප සහ පොට්ඨබ්බ රූප හෙවත් ස්පර්ශ රූප) අතුරින් සමහර රූප සමග අප යම්
කැමැත්තකින් බැඳෙන බවක් ඇති වේ. එසේ වන්නේ,
·
ඉන් සමරක් ගැන අප තුළ ආශාවෙන්
යුතු ඇල්මක් නැඹුරු වීමක් ඇතිවීම හෝ පැවතීම නිසාත්,
·
තවත් කොටසක් ගැන යම් ක්‍රෝධයක්, වෛරයක්, කේන්තියක් වැනි
ගැටුම් කාරී බවක් ඇතිවීම හෝ පැවතීම නිසා, ක්‍රියාකාරී වන ඇල්මක් නැඹුරු වීමක් ඇතිවීම
හෝ පැවතීම නිසාත්,
·
තවත් කොටසක් ගැන ඍජු
කැමැත්තක් හෝ ඍජු අකැමැත්තක් නැතිව ත්, අතහැරීමට නොහැකි තත්වයක් පැවතීම හෝ ඇතිවීම නිසාත් කියන තත්වයන් 3 නිසා ය.
මෙම,
යමක් අල්ලා ගැනීමට පාදක වන තුන් වැනි හේතුව, මුලින් දැක්වූ හේතු දෙක මෙන් එක එල්ලේ
වෙන් කර හඳුනා ගත නොහැකි එකකි. අපහසු එකකි. එහෙත් හරියටම හඳුනා ගැනීම අතිශයින් ම
වැදගත් ම අංගය මේ තුන් වැන්නමයි. ඊට හේතුව නම්, අපේ ඉන්ද්‍රියයන් මතට එන සෑම රූප
අරමුණක් ම, කිරා බලා, මැන බලා, රස බලා, සුවඳ බලා, මෙය ප්‍රිය ගොඩට දැමිය යුතු ප්‍රිය
එකක් ද, නැතිනම් අප්‍රිය ගොඩට දැමිය යුතු අප්‍රිය දෙයක් ද කියා තීරණය කරනු ලබන්නේ
මේ තුන් වැන්නයි. එසේම එය එම දෙගොඩටම දැමීමට මේ මොහොතේදී නොගැලපෙන්නේ නම්, තව
දුරටත් කිර කිරා, මැන මැන එම තුන් වැනි ගොඩේ ම තබා ගැනෙයි. එනම්, අරමුණක් පතිත
වූ වහාම මුලින්ම ක්‍රියාත්මක වන්නේ ද මේ මනින්නා හෙවත් මෝහයයි.
රාගය දෝසය සහ මෝහය යන කෙළෙස් තුන එකතු වී “තමන්ගේ”
කර ගැනීම හෙවත් “ස්ව+කරණය” “ස්වං+කරණය” සංඛාර යන්නෙහි පැහැදිළි අර්ථයයි.
මෙම,
·
ප්‍රිය නිසා අත් හල නොහැකි
ස්වභාවය “රාගය” ලෙස ද,
·
අප්‍රිය නිසා අත් හල නොහැකි
ස්වභාවය “ද්වේශය” ලෙස ද සහ
·
ප්‍රිය නැතත් අප්‍රිය
නැතත් අත් හල නොහැකි ස්වභාවය “මෝහය” ලෙස ද
ධර්මයේ
සදහන් වෙනවා.
සංඛාර තනන මේ රාග ද්වේශ සහ මෝහ නම් වූ ප්‍රධාන හේතු
තුනම එකට ගෙන, බුදුන් වහන්සේ එය “සං” වශයෙන් (ඉමේ සං....ලෙස ධර්මයේ
සූත්‍ර වල ඇත - රාග සූත්‍රය. අංගුත්තර නිකාය 4) නම් කළහ. එයින්ම, එම හේතු තුන (තේ +
සං) නිසා අප තුළ එකතු වන බැඳීම් වලට යි, “සං”
තනමින් එකතුකිරීම් හෙවත් “සංඛාර” ලෙස හැඳින්වූහ. එසේ නම්,
සංඛාර නැති කිරීම සදහා, සං හෙවත් රාග ද්වේශ සහ මෝහ යන මේ හේතු තුන කපා ඉවත්
කළයුතු වෙනවා.
සාරාංශ වශයෙන්, අවසාන
ඵලය වන දුක නැති කිරීමට “ජාති” නැති කළයුතු බවත්, ජාති නැති කිරීමට “බව” නැති
කළයුතු බවත්, “බව” නැති කිරීමට එම බව තනන මූල බීජය වන “සං” හෙවත් රාග ද්වේශ මෝහ ත්‍රිත්වය ම කපා ඉවත් කළයුතු යයි කියන
කථාව දැන් පැහැදිළි ය.
මේ වන විට, දුක යනු කුමක්ද කියා ත්, එම දුක හටගන්නා ආකාරය
සහ ඊට හේතු මොනවාද කියාත්, පියවරෙන් පියවර සාකච්ඡා කොට හමාරයි. එසේම ඒ සමග ම දුක
නැති කිරීමට නම් කළ යුතු හෙවත් නැති කර දැමිය යුතු මොනවාද කියාත් පියවරෙන් පියවර, ඒ
ඒ පියවරේ දීම දැක ගන්න ලැබුනි. අවසානයේදී දැකගත හැකි නිගමනය වන්නේ, මේ “සං”
හෙවත් රාග ද්වේශ මෝහ ත්‍රිත්වය ඉවත් කිරීමෙන්, දුක බිහි කිරීමේ මුළු මහත්
ක්‍රියාවලිය ම නවතා දැමිය හැකි බව, එනම් නැවත නැවත ජාති උපදවන “බව” බීජ බිහි වීම,
හෙවත් සමුදය සහමුලින් ම නිරෝධ කර දැමිය
හැකි බවයි.
දුක නැති කිරීමේ පිළිවෙත
මී ලඟට, සමුදය නිරෝධ කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියා
පිළිවෙත හෙවත් ප්‍රතිපදාව කුමක්දැයි සාකච්ඡා කිරීම අවශ්‍යයි. මෙම ක්‍රියාවලියේ
මුලට ම, අත්තිවාරමට ම, නිධානයට ම ගොස්, මේ නිරෝධ කිරීම දියත් කළ යුතු බව පැහැදිළි
කරුණකි. අතීසාරය සුව කිරීමට අමුඩයකට බැරිය. ඊට කළයුතු වන්නේ, අතීසාරය වැළදුනු හේතුව
දැනගෙන එම හේතුවට ප්‍රතිකාර කර ඉවත් කිරීම පමණයි. එනිසා, සමුදය නිරෝධ කිරීමට, නතර
කිරීමට නම් ඊට මුල, හේතුව දැකගෙන එම හේතුව භංග කර දැමීමයි. සමුදය යනු, සං උදය වීමයි. සරල ලෙස
ගන්නේ නම්, රාගය ද්වේශය සහ මෝහය කියන තුන සිත තුළ උදය වීම හෙවත් ඉපදීම යි.
එම තුනෙන් ද, මුලින් මෝහය ඉපිදී ක්‍රියාත්මක වී, දෙවනුව, මෝහය විසින් කරනු තෝරා
ගැනීම අනුව රාගයත් ද්වේශයත් අවදි වන බව දැනටම පැහැදිළි කරුණකි. එසේනම් ඇත්තෙන් ම අප
වැලැක්විය යුතු වන්නේ මෝහයේ උදාව යි.
මෝහය යනු, අප තුළට එන අරමුණු මැන බලන, තෝරන, ‘අත නොහැර
තබා ගත යුතුයි’ කියා තීරණය කරන මානසික ස්වභාවයයි. මෝහය ඉස්මතු වන්නේ ත්, මෝහයේ ක්‍රියා
ව හෙවත් මැනීම සිදු කරන්නේත් කෙසේද ?. ඉන්ද්‍රියක් මතට රූපය ක් පතිත වන වහාම, එම
රූපය විසින් එම ඉන්ද්‍රිය උත්තේජනය වී තනන සංවේදීතාව හෙවත් “වේදනාව” මා හට සුව
දෙන්නක්ද?, මා ආශා කරන එකක් ද ?, මට අයිති කර ගැනීමට වටිනා එකක් ද ?, මගේ කැමැත්ත
ඉටු කරන - කැමැත්තට අනුකූල එකක් ද ? ලෙස හෝ, ඊට ප්‍රති විරුද්ධ, එනම් මට අප්‍රිය
එකක් ද ?, මා කෝප ගන්වන එකක් ද ? මා විරුද්ධ විය යුතු එකක් ද? පළිගත යුතු එකක් ද? ලෙස
හෝ, කිරා මැන බැලීම මෝහයේ ක්‍රියාව යි. එවිට ඒ තෝරාගැනීම අනුව එම පතිත රූපය එක්කෝ
රාග ලෙස නැතිනම් ද්වේශ ලෙස (නැතිනම්, සමහර විටෙක, මෝහය ලෙසම ) විඤ්ඤාණ (වැරදි ඥාණ
දර්ශණ. වැරදි තීරණ) බිහි කරනු ලබයි.
එසේ ගත් විට, මෝහය නැති කිරීමට, හෙවත්
මෝහයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නම්, අප සිත තුළ පැලපදියම් වී තිබෙන “මැනීමේ,
තෝරා ගැනීමේ මිණුම් දණ්ඩ වැරදි බව වටහා ගෙන ඉවත් කර දැමීම, නිවැරදි කිරීම”
අවශ්‍ය කෙරේ. යම් දෙයක් කෙරෙහි කැමැත්තක්/අකැමැත්තක්, ගිජු බවක් / නූරුස්සන බවක්, ආකර්ශණයක්
/ විකර්ශණයක් ඇතිවන්නේ, සාරාංශ වශයෙන් ප්‍රිය බවක් / අප්‍රිය බවක් ඇති වන්නේ ම, අප
එය මැණීමට ගන්නා මිණුම් දණ්ඩ අනුවයි. යමක් ප්‍රිය යයි අප තුළ පැලපදියම් ව තිබෙන
තාක් එය අපට ප්‍රිය ය. අප්‍රිය යයි අප තුළ පැලපදියම් ව තිබෙන තාක් එය අපට අප්‍රිය
ය. (දූරියන් නම් පළතුර කදිම උදාහරණයක්). එවන් ප්‍රිය බවක් හා අප්‍රිය බවක් අප තුළ
බිහි නොවන්නේ නම්, ඒ කිසිවක් ප්‍රිය නිසා එහි සුව විඳීමට වත්, අප්‍රිය නිසා ඊට
එරෙහිව කටයුතු කිරීමටවත්, සිතු තුළ තබා ගැනීමට පෙළඹෙන්නේ නැත. එවිට ඒවා නිසා බව
බීජ සකස් වීමක් සිදු නොවේ. එම නිසා බුද්ධ දේශණාවේ එකම අවසාන අරමුණ වන දුක නැති
කිරීම, එනම් දුකින් සදහට ම මිදී නිදහස් වීම සඳහා “ප්‍රිය” සහ “අප්‍රිය” මිණුම් දඬු
ඉවත් කළ යුතුයි. මෝහයේ ක්‍රියාකාරිත්වය වන මැණීම විසින් ඉටු කරන්නේ අප සිත තුළ
පැලපදියම් ව පවතින “අත් නොහැර තමා සන්තකයේ තබා ගත යුතුයි” කියන දැක්මෙහි අවශ්‍යතාවය
යි.
·
“ප්‍රිය” දෙයක්, තමන්
සිතන පතන ලෙස පවතී වි, තමන් සිතන පතන සේ සැප සුව සළසාවි, අත් හැර නො යාවි, නිති
සැණසුම ගෙන දේවි....... ආදී වශයෙනුත්,
·
“අප්‍රිය” දෙයක්, අත්
නොහැර තබාගෙන ඊට වෛර කරමින්, ද්වේශ කරමින්, ක්‍රෝධ කරමින්, ශාප කරමින්, ගැටෙමින්,
යුධ වදිමින්, තලමින් නසමින් සිටින විට, ඉන් මා හට සතුටක්, සුවයක්, තෘප්තියක්, ජයග්‍රාහී
බවක්, සැහැලලුවක් ලැබේවි ...... ආදී වශයෙනුත්,
සිතා “ඒ දෙ කොටසම
තබා ගැනීම මට සුඛයකි, ජයගුහණයකි, එසේ තබාගැනීමෙන් මාගේ කැමැත්තට අනුකූලව සදා පවතී
වි, එනිසා මා ඒවා අයිති කරගත යුතුය ”යි ලෙස ගන්නා බලවත් කැමැත්ත සිතින්
ඉවත් කළ යුතු වෙයි.
මදකට මාතෘකාවෙන් බැහැරව, මේ අරුත් විග්‍රහය දෙස
බැලීම සුදුසුය.
අපේ කැමැත්ත අනුව, අපේ දැණුවත් බව සහිතව, අපගේ
පාලනයට නතුව අප තුළ සිදුවන ක්‍රියා වලට සිංහල බසින් පොදුවේ සාමාන්‍යයෙන් කියන හඳුන්වන
නමක් තිබෙනවා “ඉච්ඡානුක ක්‍රියා” යනුවෙන්. පාසැලේ විද්‍යාව පාඩමේදී, මීට ප්‍රතිවිරුද්ධ
ක්‍රියාවන් ගැන උගන්වනවා “අනිච්ඡානුක ක්‍රියා” ලෙස. අපේ සිරුරෙහි යම්
ස්ථානයක්, යම් කිසි තියුණු උලක හෝ යම් කිසි තද උනුසුම් දෙයක, අතිෂය සීතල යමෙක,
විදුලිය පවතින කම්බියක හෝ අප නොදැණුවත්ව ගෑවුන සැණින් සිදුවන, සිරුරේ එම කොටස,
ගස්සා ඉවතට ඇද ගැනීම වැනි හදිසි ක්‍රියාවන් ට මොළය සම්බන්ධ නැත. එනිසා එවැනි ක්‍රියා
අනිච්ඡානුක ක්‍රියා නම් වේ. අප දැණුවත්ව, කැමැත්තෙන් එවැනි දෙයක් ස්පර්ශ
කරන අවස්ථාවක, එසේ ගස්සා ඉවතට අදින්නේ නැතිව ඉවසා සිටිමු. “මූණ ඉච්ඡාවට” කියන
යෙදුමත් නිතර පාවිච්චි වෙන යෙදුමක්. ඉන් අදහස් වන්නේ “අප ඉදිරියේ සිටින අනික්
තැනැත්තා කැමති වන සේ” කියන අර්ථයයි.
දැණුවත්ව ම ඇති කරගන්නා බලවත් කැමැත්ත,
ධර්මයේ හඳුන්වන්නේ ත් “ඉච්ඡ” යන වචනයෙන් මයි. එම බලවත් කැමැත්ත
හෙවත් ඉච්ඡ බව නිසා, ඒ ඉච්ඡ වූ දෙය
මට යහපත් ය, මා අයිතියේ තබා ගැනීමට සුදුසු ය, මාගේ කැමැත්ත ඉටු කරාවි ය ආදී වශයෙන්
නිෂ්චය කර ගැනීම, එල්බ ගැනීම, “නිච්ඡ වීම”
ලෙස ධර්මයේ විග්‍රහ වෙයි. (ධර්මයේ
නිතර සඳහන් වන අනිච්ඡ යන පදයෙන්
කියැවෙන්නේ මෙහි විරුද්ධාර්ථයයි. එනම්, “එය මට යහපත් ය, මා අයිතියේ තබා ගැනීමට
සුදුසු ය, මාගේ කැමැත්ත ඉටු කරාවි” යන අදහස, නැත්තක් ය, බොරුවක් ය, එසේ ගත නොයුත්තක්
ය,.. ලෙස සැළකීම “අනිච්ඡ” බව යි.)
මෙසේ යම් දෙයක් “නිච්ඡ” කර ගන්නේ, එ තුළින් “සුඛ” ය
සාක්ෂාත් වේවි’යි අපේක්ෂාවෙනි. එම අපේක්ෂාව මත, එය “මම ලෙස, මාගේ ලෙස, අත් පත් කර
ගැනීම” හෙවත් “අත්ත” කර ගැනීම සිදුවෙයි.
යතාර්ථය නියම ලෙස නොපෙනෙන පෘතග්ජන අප, ලෝකය දකින
වැරදි දැක්මට එකම හේතුව වන්නේ, මෙසේ “නිච්ඡ,
සුඛ, අත්ත” ලෙස හඳුනාගැනීම යි.
නැවත මාතෘකාවට පිවිසෙමු.
අප කථා කරමින් සිටි, අරමුණු අල්ලා ගැනීමට තුඩු දෙන
බලවත් කැමැත්ත අප තුල ජනිත වන්නේ, අප එම අරමුණ “නිච්ච, සුඛ සහ අත්ත” ලෙස
දැකගත් බැවිනි. එබැවින්, අරමුණු අල්ලා බදා නොගෙන අත් හැර දැමීමට නම්, එදෙස නිච්ඡ,
සුඛ, අත්ත ලෙස බැලීම අත්හැරිය යුතු වෙනවා.
මෙසේ “කැමැත්තෙන් ම සිතෙහි බැඳ ගැනීම, එල්බ ගැනීම
” බුදුන් වහන්සේ විසින් ධර්මයේ සඳහන් කර වදාලේ “පටිච්ච වීම” ලෙසයි. එම
වචනය විස්තාරණය කළ විට, විසංධි කළ විට, විභංග කළ විට. “පටි + ඉච්ච” ලෙස
ගතයුතු බව ධර්මය තුළ මනාව පැහැදිළි වෙයි. “පටි” යනු “සුව පහසු එසේම නොගැලවෙන
සුළු විශ්වාසනීය බැඳ ගැනීමක්” ලෙස අරුත් දුන් බව පෙනේ. ඉච්ච යනු කැමත්ත
යි. එනම්, “පටිච්ච” යනු දැනුවත්වම කැමැත්තෙන්ම නොගැලවෙන සේ බැඳ ගැනීම යි. එවිට පටිච්චසමුප්පාදය යනු පටි+ඉච්ච+සං+උප්පාදය
හෙවත්, “කැමැත්තෙන් බැඳගෙන රාග ද්වේශ
මෝහ යන කෙළෙස් හෙවත් සං උප්පාදණය කිරීමයි, බිහි කිරීමයි, සමුදය වීමයි. සමුදයේ අවසාන ඵලය ලෙස “බව” තැනීමයි. දුකෙහි (ආදීනවයේ)
ආරම්භකයා වන ජාති බිහි කිරීමයි.
(ආදීනවය යනු - ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව
දුක්ඛ දෝමනස්ස උපායාස කියන අංග නවයයි)
මෙතෙක් සිදු කෙරුනේ බුද්ධ ධර්මය හෙවත් බව+උද්ද
කිරීමේ මාර්ගය පිළිබඳව මූලික ධර්ම කරුණු සියල්ල පිළිබඳ විස්තරාත්මක විග්‍රහයකි.
බව+උද්ද කිරීම පිණිස ප්‍රායෝගිකව අප කළ යුතු කුමක්ද? යන්න, දැන් සොයා දැනගත
යුතුයි. දැනගැනීමෙන් ද නොතැවතී එම මග ට බැස ක්‍රියාකාරී වී ඉන් ඵල අත්විඳීමට වෙර
දැරීම තුළින්, අප මෙතෙක් දැන ගත් මග අත්දැක ගත යුතුයි. ධර්මය හරියට ම වැටහෙන්නේ
අත්දුටු විට පමණි. සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ වන බුද්ද වචනයෙන් කියැවෙන ලෙස, අසා, ධාරණය කර
එහි සැරීමෙන් පමණි එය ධර්මය වන්නේ.
ප්‍රායෝගික වැඩ පිළිවෙල
මෙතැන දී, බුදුන් වහන්සේ, ඒකායන මාර්ගය ලෙස පෙන්වා
වදාළේ, චතුරාරක්ඛා ලෙස හඳුන්වන අනුස්සති 4ක් රකින ලෙසයි. වඩන ලෙසයි. බහුල ව භාවිතා කරන
ලෙසයි. ඒ සතර නම්,
1. අසුභානුස්සති
2. මෙත්තානුස්සති
3. මරණානුස්සති
සහ
4. බුද්ධානුස්සති
නම් වූ අනුස්සතින් ය
(මෙහි
අනුස්සති 10 ක් තිබෙන නමුත්, ඇත්ත වශයෙන්, එහි එන මුල් අනුස්සති තුන නිවැරදිව
භාවිතා කරන විට වඩන විට 4 වැන්න වන බුද්ධානුස්තියත් ඉතිරි අනුස්සති 6 ත් නිරායාසයෙන්
පූරණය වෙති. )
මේ සතර පදයේ ම අග තිබෙන “සති” යනු කුමක්දැයි දැන
ගැනීම සුදුසුයි. සති යනු, කලින් විග්‍රහ වුණු යෝනිසෝමනසිකාරය මයි.
එනම්, හේතුඵල දහමට බහා ගලපා ණය විනය ට සසඳා සිත පවත්වා ගැනීමයි. පැහැදිළිව කියනවා
නම්, සිතට ඇතුල් වීමට එන අරමුණු, ඇතුලට ගතහොත් එය හේතුවක් වී, ඵලය ලෙස ණය වීමට
සිදුවේදැයි නුවණින් විමසමින් සිට, එසේ ඇතුලට නොගත යුතු දේ නොගනිමින්, ගත යුතු දේ
ගනිමින් සිටීමට සිත පවත්වා ගැනීමයි. (ණය යනු පසු කළෙක ආපසු ගෙවීමට සිදුවන දේවල් ය.
පව් සියල්ල එසේ ගෙවිය යුතුයි. එලෙසම පින ද විඳීමට සිදු වන දෙයක්. එයත් “කම්ම”යක්.
එනිසා පින් සියල්ල, අපේ පරණ ණයකාරයින්ට අනුමෝදන් කර අත සෝදාගත යුතුයි. )
සෝවාන් ඵලයේ සිට ඉදිරියට සාක්ෂාත් කර ගැනීමට තිබෙන
මාරගඵල 3 ම පූර්ණ වන්නේ මේ සතර අනුස්සති භාවිතාවෙන් පමණක් බව බුදුන් පැහැදිළිව ම
ස්ථිර ලෙසම පෙන්වා දුන්නා. සෝවාන් ඵලයට එළැඹීමට අවශ්‍ය යෝනිසෝමනසිකාරය සහ
ධම්මානුධම්ම පටිපදාව යන දෙකෙහිදී ද සතියෙහි පිහිටා සිටීමට සතර කමටහන් වැදගත්
වෙනවා. එනම්, මුළු බුද්ධ ධර්මයේම, නිවන් දැකීම උදෙසා අප විසින් කළයුතු එකම එක
ක්‍රියාව මේ සතර කමටහන් භාවිතා කිරීම පමණ මයි.
සෝවාන් හෙවත් සෝතාපන්න ඵලයේ සිට ඉන්
ඔබ්බට යාමට කළයුතු එකම ක්‍රියාව එය වුවද, සෝතාපන්න
වීමට හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට කළ යුත්ත කුමක්දැයි එතැන නෑ. “සෝතාපන්න”
යන්න “සෝත + ආපන්න” ලෙස විසංධි වෙයි. “සෝත” යනු අරිය අෂ්ඨාංගික
මාර්ගය ලෙස ධර්මයේ පැහැදිළිව සඳහන් ය. “ආපන්න” යනු අවතීර්ණ වීම ය.
එසේ නම් සෝතාපන්න වීම යනු “අරිය අෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වීම” ලෙස ගත යුතු ය. සෝවාන් වීමට කළයුතු කුමක්ද කියා බුද්ධ දේශණාව අනුව, අප
මූලික අවශ්‍යතාවයන් 4 ක් සම්පූර්ණ කර ගත යුතුයි. එනම්,
1. සප්පුරිස
සේවනය
2. සද්ධම්ම
ශ්‍රවණය
3.
යෝනිසෝමනසිකාරය
4. ධම්මානුධම්ම
පටිපදාව.
සෝතාපත්ති අංග
ලෙස බුදුන් වදාළ ඒ සතර, සවිස්තරව ගත් කළ,
1. සප්පුරිස
සේවනය
ධර්මයේ තවත් තැනක කළ්‍යණමිත්ත සම්පත්තිය ලෙස
නම් කරනු ලබන්නේ ද මේ සප්පුරිස සේවනය කියන අංගයම යි. එනම් සද්පුරුෂයා සහ කළ්‍යාණ
මිත්‍රයා යනු එකම පුද්ගලයෙකි.
ඉන්
සද්පුරුෂ යනු සාධූ ගුණ සහිත උතුමෙකි. මෙම “සාධු” වචනය බුදුන් විග්‍රහ කර
වදාළේ,
·
කායේන සංවරෝ සාධූ
·
වාචාය සංවරෝ යාධූ
·
මනසාය සංවරෝ සාධු
ලෙසයි. කාය වාචා සහ මන යන
තුනෙන්ම සංවර වූ උත්තමයා සාධූ වරයෙකි. “සංවර” යන්න ද විග්‍රහ වන විට, සං+වර ලෙස ගත
යුතුයි. එනම් සං හෙවත් “රාග ද්වේශ මෝහ” තුනෙන්ම
වාරණය වූ ඉවත් වූ යන අර්ථය යි සංවර
යනු. මෙසේ සංවර වන්නට නම් ඔහු, බුද්ධ
ධර්මය පැහැදිළිව දැනගත් දැකගත් අයෙක් විය යුතුමයි, එම දැක්ම ප්‍රයෝගිකව භාවිත
කරන්නෙක් විය යුතුමයි, එක්කෝ, පූර්ණ ලෙස සංවර වූ අර්හත් උත්තමයෙක්, නැත්නම්, අවම
වශයෙන්, මග නියමාකාරයෙන් දැක එ මගට බැස ගමන් කරමින් සිටින්නෙක් හෝ විය යුතුමයි.
කළ්‍යාණ
මිත්‍රයා යන පදයෙහි අරුත විග්‍රහ කෙරෙන්නේ මෙසේය.
කළ්‍යාණ යනු “කළණ” --- “කළ + ණ” ලෙස බෙදා
බැලිය යුතුයි. බුදුන් වහන්සේ මේ “කළ, කාළ” යන වචන අරුත් ගන්වන්නේ “කළු / කෙළෙස් /
කුණු” ආදී වශයෙන් බව සූත්‍ර ධර්ම පිරික්සාව තුළින් මනාව දැකිය හැකිය. කුණු හෝ
කෙලෙස් යනු, රාග ද්වේශ මෝහ නම් වන කෙළෙස් මුල් විසින් තැනෙන බව බීජ කුණු කන්දල් ය.
එනම් කළ+ණ යනු (ණ + කළු) කළු කෙළෙස් නැති කියන
අරුතයි. ඉන් තේරුම් ගත යුතුතේ, කළු කෙළෙස් එනම් රාග ද්වේශ මෝහ නැති එසේම එම රාග ද්වේශ මෝහ නැති කරන මග හැඳින, ඒ මගෙහි යමින් සිටින අට්ඨාරිය පුද්ගලයෙක බවය
“කළණ මිතු” යනු.
·
සද්පුරුෂයාත් කළණ
මිතුරාත් එක පුද්ගලයා ම බව දැන් මනාව වැටහෙන කරුණකි. ඔහු ශාන්ත දාන්ත ව කලබල නැතිව
හැසිරෙන මෘදු ස්වරයෙන් කථා කරන දැකුමෙන් ප්‍රිය උපදවන ආකාරයට පෙනෙන, (රඟපාන,) අප
මෙතුවක් අදහස් කළ මනඃකල්පිත “සත්පුරුෂයා” ම නොවන බවත්,
·
කළ්‍යාණ මිත්‍රයා යනු,
අපට සැපට දුකට එකසේ එකට සිටින, රහස රහසක් ලෙසම තබාගන්නා, කිසි විටෙක අත් නොහැර
මැරෙන්න උනත් එකට යන වර්ගයේ, අප මෙතුවක් සිතා සිටි “කළ්‍යාණ මිත්‍රයෙක්” ද නොවන
බවත්,
·
එසේම, ධර්මයේ මූලික
උගැන්වීම වන “අත් හැරීම” පසෙකට දමා, තම විවිධ ආශාවන් මුදුන්පමුණුවා ගැනීම පිණිස දැවැන්ත,
මනස්කාන්ත විහාර කර්මාන්ත වැනි භෞතික සම්පත් වලට ඇපකැප වුනු, නියම බුද්ධ වචනය ගැන නිවැරදිව නොදන්නා
මුත් දන්නා සේ, මන බඳින ලෙස, නියම නිවන් මග මේ යයි හරියටම නොපෙන්වා යම් “බණ”
කියමින් අසන්නන් රවටන “තමා එකම කළ්‍යාණ මිත්‍රයා” වන බව තම ගෝලයින් ලවා ප්‍රශස්ති
ගායනා කරවන, තනතුරු තාන්න මාන්න පසුපස හඹන, රාජ රාජාමාත්‍යන් ගෙන් සැළකිළි, ගෞරව
සත්කාර යාන වාහන පිරිවර සේනා පතන, පිරිත් බෝධි පූජා වැනි නිවනට අදාල නැති පිළිවෙත්
වලට අනුබල දෙන හිස් පෘතග්ජන පැවිද්දෙකු ද නොවන බවත්
·
සද්පුරුෂයා හෙවත් කළණ
මිතුරා යනු, රාග ද්වේශ මෝහ නැති කර දමන ලද අරිහතුන් වහන්සේ නමක හෝ, රාග ද්වේශ මෝහ
නැති කරන ආකාරය දැකගෙන එය සාක්ෂාත් කර ගැනීමට සක්‍රීයව නිරත වන අට අරිය
පුද්ගලයින්ගෙන් කෙනෙකු බවත්, නිවැරදිව අවභොධ කර ගැනීම යෝග්‍යයි.
අද
ලොවේ බොහෝ පුද්ගලයන්, “තමන් උතුම් කෙනෙකැයි, මග ඵල ලාභියෙකැයි” පෙන්වීමට දරණ
උත්සාහය දෙස නොව, අප විමසිලිමත් ඇසින් දැකිය යුත්තේ ඔහු දෙසන, කරන දේ තුළ
සැබෑ අරිය පුද්ගලයෙකු සීටිනවා ද කියා ය. නියම කළ්‍යාණ මිත්‍රයෙකු දෙසන දෙසුමක්
සවන් දෙන විට, මෙකෙත් අප කොතෙක් බන අසා තිබුන ද, “මේ අසමින් ඉන්නේ, මා කිසි දිනෙක
නොඇසූ දහමක් නොවේද?, මා, මෙතෙක් නුදුටු කෙළෙස් නසන මගක් පෙනෙන්න පටන් ගත්තා නොවේද?
වැනි, අඳුරේ අත පත ගාමින් යන අපට එළියක් පන්දමක් ඇල්ලුවා වැනි දැක්මක්, හැඟීමක් ඇතිවේ.
එවිට එහි අගය ගැන, එය භාවිතා කිරීමෙන් ලැබිය හැකි ලාභය ගැන වැටහීමක් ජනිත වී, “මම
ද එ මග ගමන් කළ යුතුමය” යන අධිෂ්ඨාණය පහල වෙනු ඇත. එවිට අප “නාමික ව්‍යාජ කළණ
මිතුරන්” ගෙන් මිදෙනු ඇත.
සමහර
විට, අප මෙතෙක් ඇසූ “කතන්දර බණ” වලට වඩා වෙනස් විදිහේ බණක් අසන්නට ලැබුනු සැණම,
“මෙන්න නියම දහම” යයි බදා ගැනීම එතරම් නිවැරදි වන්නේ නෑ. එවැනි “ජනප්‍රිය දෙසුම්”
පවත්වන, ධර්මය “නිවැරදිව ම” දැක නොගත් දේශකයින් ද එමට සිටිති. “කළ්‍යාණ මිත්තතාව”
යනු දහම කියවා දැනගත්, පාඩම් කරගත් කම නිසා පුද්ගලයෙක් තුල ජනිත වන සම්පත්තියක් නොවේ.
කළණ මිත්තතාව යනු අරිය අට’ඟ මග බව බුදුන් දේශණා කොට ඇත. “සුනාථ, ධාරේථ, චරාථ” යන අංග තුනෙන්ම පිරුණු
පුද්ගලයෙකු පමණයි ධර්මය “දැකගන්නේ”. අද සමාජයේ බහුලව සිටින්නේ මේ “චරාථ” කියන අංගය අත්හැර දැමූ පැවිදි හිමි
වරුන්ය. උන් වහන්සේලා දන්නේ “කට පාඩම් කරගෙන සිටින පද සහ අරුත්” පමණි. කට පාඩම්
වුව ද, උන් වහන්සේලා මගඵල ලබා නැත්තේ, එම කට පාඩමෙන් බැහැරව සිතන්නට නොපෙළඹෙන
බැවිනි. චතුඅරියසච්චය කට පාඩම් වුවද, එය අවභෝධ කරගෙන, අත්දැක ගෙන නැති බැවිනි.
නිවන සොයා ගැනීමට, කෙළෙස් ප්‍රහාණය කිරීමට මග පරියේසනය නොකරන බැවිනි.
එවන්,
කෙළෙස් ප්‍රහානය ගැන අත් දැකීමක් නැති කිසිවෙකු (ඔහු මහ නායක හිමි නමක් වුවත්,
නාමික රහතුන් වහන්සේ කෙනෙක් වුවත්, කළ්‍යණ
මිත්‍රයෙක් ලෙස අනුගාමිකයින්ගේ විශ්වාසය දිනූ ලොකු ස්වාමීන් වහන්සේ නමක් වුවත්),
බුදුන් පෙන්වා දුන් ආකාරයේ “කළ්‍යාණ මිත්‍රයෙක්” නම් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුය.
නිවන ඔබේ ඒකායන පරමාර්ථය නම් පමණක්, හරි කළ්‍යාණ මිත්‍රයා කවුදැ.යි
ප්‍රත්‍යක්ෂ කර ගැනීම අපහසු නොවෙනු ඇත.
2. සද්ධම්ම
ශ්‍රවණය
නියම කළණ මිතුරා තෝරා ගත් පසු, “කාළෙණ ධම්ම සවනං” සහ
“කාළෙණ ධම්ම සාකච්ඡා” වලට අප පෙළඹෙයි. මෙහි “කාළෙණ” යනු සුදුසු කාළය,
සුදුසු අවස්ථාව වැනි අරුතක් නොව, “කාළෙ + ණ” යනු (ණ +කාළ) කාළ/කළු/ හෙවත්
කෙළෙස් + නැති කරන/නසන යන අරුතයි. “කාළෙණ ධම්ම” යනු කෙළෙස් නසන දහමයි. ශ්‍රවණයෙන්
සහ සාකච්ඡා තුළින් මිස නිවැරදිවම ධර්මයේ පරම සත්‍යය වටහා ගත හැකි අන් ක්‍රමයක් නැත.
අසා සිටින විට පැන නගින ගැටළු ඉදිරිපත් කර නිරාකරණය කිරීමයි, සාකච්චා යනු. (අද බොහෝ
විට ස්වාමීන් වහන්සේලා දේශණා කරගෙන යන දෙයත් අසාගෙන සිටිනු විනා, මෙවැනි සාකච්චා
වලට ඉඩ නැත. නමුත් බුද්ධ දේශණා සූත්‍ර
සියල්ලම පාහේ සාකච්චා ස්වරූපයෙන් පැවැත්වූ අයුරු පෙනේ.) ලොව්තුරා
බුද වරයෙකුට හෝ පසේ බුදු වරයෙකුට හැර, අන් අරිහත් බුද්ධ මට්ටමේ භික්ඛූන් හට ධර්මය
අවභෝද කරගත හැකි එකම ක්‍රමය වන්නේ, මෙසේ කළණ මිතුරෙකු ඇසුරු කර, ධර්මය අසා ප්‍රත්‍යක්ෂ
කර ගැනීම පමණයි. දුක කෙලවර කිරීම කෙරෙහි යොමු වුණු අප සියල්ලම, හරි සද්පුරුෂයෙකු සොයා
ගත යුතුයි, ශ්‍රවණයෙන් හා සාකච්ඡාවෙන් සද්ධර්මය නිවැරදිව පැහැදිළිව අවභෝධ කරගත
යුතුය. මෙය “පරතෝඝෝෂක ප්‍රත්‍ය” ලබාගැනීම ලෙස ධර්මයේ සදහන්.
3. යෝනිසෝමනසිකාරය
“පරතෝඝෝෂක ප්‍රත්‍ය” ලබා
ගැනීමෙන් පසු, යෝනිසෝමනසිකාරය පවත්වාගෙන යාම අවශ්‍යයි. යෝනිසෝමනසිකාරය
යනු, සද්ධම්ම ශ්‍රවණය තුළින් ලැබෙන දැක්ම, සං+දිට්ඨික බව හෙවත්, රාගය ද්වේශය
මෝහය දැක, ඉන් මිදී සං+වර වී සිටිය හැකියි, සිටිය යුතුයි කියන දැක්ම, එනම් “සං+මා
දිට්ඨි”ය, තුළින් “සතිය” (එනම් හේතු-ඵල දහම අනුව “ණය” නොවන සේ විනය පවත්වාගෙන
යාමේ මානසිකත්වය) ලබා ගැනීමයි. සරලව ගත් කළ, “සං” ඛය (කපා ඉවත්) කිරීම ට, හෙවත් රාග ද්වේශ
මෝහ වලින් මිදී නිදහස් වීම ට, එරෙහි වන, භාධා වන, ප්‍රමාද කෙරෙන අදහස්, චේතනා,
එනම් රාගී, ද්වේශී සහ මෝහී සිතුවිලි සිත තුලට එනු නොදී සිත පවත්වා ගැනීමයි,
යෝනිසෝමනසිකාරය යනු. මේ සඳහා දැඩි වෑයමක් දැරීමට සිදු වෙනවා. මේ වන විට
“වල් වැදී අකීකරු” වූ සිතක් තුළ යෝනිසෝමනසිකාරය ජනිත කර පවත්වා ගැනීම අමාරු
කාරියක්. එහෙත්, “බව උද්ධ” කිරීමේ අරමුණ හා අවශ්‍යතාව ඊට වඩා ප්‍රබල
නම්, ඔබේ, විමුක්තිය පිළිබඳ උවමනාව, කැප වීම ඊට වඩා දැඩි නම්, ප්‍රබල
නම්, යෝනිසෝමනසිකාරය පවත්වා ගැනීම සුළු දෙයක් පමණි.
4. ධම්මානුධම්ම
පටිපදාව
ධම්මානුධම්මපටිපදාව යනු, සද්ධම්මස්සවනයේදී ලබාගත්
දහම් දැණුම භාවිතා කර, සං+වර වී සිටීම පිණිස ක්‍රියා කළයුතු පිළිවෙත
අවභෝධ කරගෙන එය අනුගමනය කිරීමයි. කුමක්ද එම
පිළිවෙත ? “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස
උපදම්පදා සචිත්තපරියෝදපණං එතං බුදධාණසාසනං” ගාථා ධර්මය තුල පවතිනුයේ එකී පිළිවෙතයි,
කළ යුත්තයි.
·
සබ්බ පා+පස්ස අකරණං
- අකරණීය පාපයන් පස්ස හෙවත් පහ (ප්‍රහාණය)
කළ යුතුයි.
·
කුසල+ අස්ස උපසම්පදා
(උප + සං + පදා) - කුණු කෙළෙස් ගලවා අස් කිරීමට හෙවත් කුසළ අස්ස
(ආශ්‍රය) කිරීමට ඇප කැප විය යුතුයි
·
සචිත්තපරියෝදපණං
- ස්ව චිත්තය පූර්ණ වශයෙන් දමණය කර ගත
යුතුයි
සරලව ගලපා ගත් විට, “තම චිත්තය පූර්ණ ලෙස (ටික
වෙලාවකට නොව, සම්පූර්න ජීවිත කාළය ම) ඇප කැප වී දමණය කරගෙන එතුළට එන පාපී චේතනා පස්ස
හෙවත් ප්‍රහාණය කරමින්, එතුළට එන කුසළ චේතනා අස්ස හෙවත් ආශය කරමින් ගත කිරීම”යි, මේ
ධම්මානුධම්මපටිපදාව යනු. ආනාපානාසති සමාධි සූත්‍රයේ, ආනාපානාසති සමාධිය
ලෙස ත්, සතර සතිපට්ඨාණ සූත්‍රයේ අස්සසිසාමීති / පස්සසිස්සාමීති සික්ඛති
ලෙසත්, දේශණා කර ඇති එකම මඟ, එකම පිළිවෙත, කුසළ ආශ්‍රය කරමින් අකුසළ ප්‍රහාණය
කිරීම නම් මේ පිළිවෙතයි.
කුසළ සහ අකුසළ යනු මොනවාද
අකුසළ ප්‍රහාණය කළයුතු බව සහ කුසළ ආශ්‍රය කළයුතු බව
දැනගත් නමුත්, ‘කුසළ’ සහ ‘අකුසළ’ යනු මොනවාද කියා නොදන්නේ නම් ඉන් ඔබ්බට යා
නොහැකියි. සූත්‍ර ධර්මයන් හි කුසළ යනු, අකුසළ වලින් සපුරා මිදී වෙන්වීම ලෙසයි
විග්‍රහ වන්නේ. (දස කුසල් යනු - දස අකුසළයෙන් සපුරා ම්දී වෙන් වීම බව පැහැදිළිව
සදහන්)
කුසළ යනු
·
බුද්ධ දේශණාවේ විවිධ
සූත්‍ර ධර්ම වල,
o
තැනෙක “අකුසළ වලින්
පූර්ණ වශයෙන් මිදීම, වෙන් වීම කුසළ ලෙස දක්වා තිබෙනවා.
පානාතිපාතං, අදින්නාදානං, කාමමිච්ඡාචාරං, මුසාවාදං, පිසුනාවාචා, පරුසාවාචා,
සම්පප්පලාපා, අවිජ්ජා, ව්‍යාපාදෝ සහ මිච්ඡාදිට්ඨි කියන අකුසළ “පහානං ..........
පටිවිරතෝහෝති” ලෙස, එනම් “ප්‍රහාණය කර ඒ හා තිබූ බැමි (නැවත නොබැඳෙන සේ)
සහමුලින් ඉවත් කිරීම” කුසළ ලෙස
දක්වා ඇත.
o
තවත් තැනෙක, කුසළ යනු “අරියෝ
අට්ඨංගිකෝ මග්ගෝ” ලෙස විග්‍රහ කර තිබෙනවා.
එනම් සම්මා අංග අට ක මාර්ගයක් තුළ විසීමක් ලෙස. “සම්මා” යන්නෙහි ධර්මාර්ථය, “සං + මා” ලෙස බිඳීමෙන්
දැක ගත යුතුය. ‘සං + මා’ යනු කුමක්ද? “සං” හි අරුත රාග ද්වේශ සහ මෝහ
යන කෙළෙස් මුල් විසින්, දකින දෑ තමන්ගේ කිරීම බව මුලින් විග්‍රහ වුණා.
“මා” යනුවෙන් ධර්මයේ පෙන්වන්නේ “මිදී නිදහස්වීම” ය. එවිට එහි අරුත, සම්මා à
සං+ මා à “මගේ කර ගැනීමෙන් මිදී නිදහස්
වීම” ලෙස පැහැදිළි වෙයි. අප අතින්, ඉහත
විස්තර වූ ‘දස අකුසල්’ ම, සිදුවන්නේ, අප තුළ මෙම “මගේ කර ගන්නා” කෙළෙස් මුල් පවතින නිසාම ය. ඒ අනුව ගත්තද, ‘කුසළ
වැඩීම’ යනු “පවතින කෙළෙස් අත් හැරීම” ම පමණ කි.
මේ දෙයාකාරයෙන්ම තේරුම් ගැනෙන එකම අර්ථය
වන්නේ, කුසළය යනු එකතු කෙරෙන ගොඩගසා ගැනෙන
යමක් නොව (කෙළෙස්) අස් කිරීමක්, ඉවත් කිරීමක්, ප්‍රහාණය කිරීමක් බව, හෙවත් කෙළෙස්
වලින් මිදී නිදහස් වීම බවයි.
කුසළය සහ පින යනු එකක් ද?
පින යනු
යහපත් ක්‍රියාවක් කිරීම තුළින් “සිත පිනවීමයි”. දහමෙහි පින ගැන “හදයං පුණාති
පුඤ්ඤං” ලෙස දක්වා තිබේ. පින යනු මතු ප්‍රයෝජනය පිණිස “එකතු කර ගැනෙන, එසේම
එකතු කරගත හැකි” ධණයකි, සම්පතකි, ශක්තියකි. ඉන් මතු රජ සැප දෙව් සැප ආදිය වැනි
භෞතික සම්පත් උදා කර ගත හැකි බව ධර්මයේ සඳහන් ය, පින, වෙනත් අයෙකු වෙත දීමට අනුමෝදන්
කිරීමට ද හැකි, වෙනත් අයෙකුගෙන් ලබා ගැනීමට ද හැකි ශක්තියකි. එම පුණ්‍ය
ශක්තිය මත, මතු සැප සම්පත් වැනි දෑ ඉල්ලීමට ප්‍රාර්ථනා කිරීමට හැකි සේම, හේතු-ඵල
දහම අනුව, එවන් ප්‍රාර්ථනා වල ඵල
ලැබෙන බව ද සත්‍යයකි. (එනිසා පින යනු ද, පව මෙන්ම, කම්ම ගොඩට ම අයත් දෙයක් බව, ධර්මය තුළින් ම මනාව පෙනේ. පුණ්‍ය කම්ම,
පාප කම්ම ලෙස ඒ දෙක ම නම් කෙරී තිබෙන ආකාරයෙන් එය මනාව වැටහේ.) කම්ම සියල්ලම
පැවැත්ම උදෙසා ය.
කුසළය යනු
තමන්ගේම සිතෙහි ගැබ් වුණු, ඇලී කාවැදී පවතින
රාග ද්වේශ මෝහ කෙළෙස් මුල් ගලවා ඉවත් කිරීමයි. එම නිසා එතැන දී,
සිතෙහි පවතින යමක් ඉවත් කර නිදහස් වීමක් මිස, කිසිවක් රැස් කර ගැනීමක් එහි නැත.
එය වෙනත් කිසිවෙකු වෙත අනුමෝදන් කළ හැකි ධණයක් ද නොවේ, වෙනත් කිසිවෙකුගෙන් අපට
ලබා ගැනීමට ද නොහැක. (අකුසළය ද, පින සහ පව යන දෙකම ද පුණ්‍ය
කම්ම සහ පාප කම්ම ලෙස නම් කෙරෙන කම්මයන් ම වෙති. නමුත් කුසළය - ගැනෙන්නේ කුසළ
ධම්ම යක් ලෙසය).
කුසළයක් කෙරෙන සැම විටෙකම, ඉන් අති විශාල පිනක් ද
නිතැතින් රැස්වෙන බව ධර්මයේ ද සදහන්. නමුත් කුසළයක් වෙනුවෙන් පිරෙන පින උපයෝගී
කරගෙන කිසි යම් ප්‍රාර්ථනාවක් කිරීමද කළ නොහැකි සේම, කුසළය ධර්මාවභෝධය තුළින්
කෙරෙන්නක් නිසා, එතැන දී එවැනි කිසි ප්‍රාර්ථනාවක් කෙරෙන්නේද නැත. පැතුමක් පැතීම
යනු, යම් ලෞකික සෙතක් සුවයක් ජයක් වැනි වූ, පැවැත්මට අදාල යම් ප්‍රතිලාභයක් සහනයක්
ඉල්ලා සිටීමක් ම වන බැවින්, එම පැතුම කළ සැණ ම, කුසළක් පූරණය වේවි’ යයි බලාපොත්තුවෙන
කරන ඒ ක්‍රියාවෙහි, ඒ පෙනෙන්ට තිබුන කුසළ
ස්වභාවය අහෝසි වී, එය ද අකුසළයක් ම බවට පත් වෙන, හැරෙන බැවිනි. කුසළයෙන්
අත් වන පින ද ග්‍රහණය කර බදාගෙන ඒ ගැන යලි යලිත් සිතමින් ආවර්ජනය කරමින් ඉන් අත්
විය හැකි සැප සම්පත් ගැන සිතමින් සිහින දකිමින් නොසිට, ඒ සියළු පින්, සංසාර සතුරන්,
මිත්‍රයින්, ණය කරුවන් වෙත පතුරා අනුමෝදන් කර ඒ පිළිබද සියළු උපාදානයෙන්
සදහට ම මිදී නිදහස් වීම තුළින් කුසළය ම තහවුරු කර ගත හැකිය. (මතු සැපතක්, ප්‍රතිලාභයක්
උදෙසා කරන පින තුළ ඇත්තේ, එම මතු ප්‍රතිලාභය ගැන රාගයක් නිසා, එම පින පූර්ණ වශයෙන්ම අකුසළයක්
ම පමණි.) එනම්, කුසළය නැවැත්ම (අප්පතිවත්තියං) උදෙසා ය.
එනිසා, පින සහ කුසළය යන දෙක එකිනෙකට හාත්පසින් ම වෙනස් දෙකකි.
පින යනු, සසර පැවැත්ම උදෙසා කෙරෙන රැස් කිරීමක් වන අතර, කුසළය යනු, සසර කෙලවර
කිරීම, සසරින් මිදීම උදෙසා කෙරෙන අත්හැරීමකි.
බුද්ධ ශක්තියට අනුගත වීම
සෝතාපන්න වීම සඳහා මෙවැනි අවශ්‍යතාවක් ගැන බුදුන්
වැඩ සිටි සමය පුරා දසුනු දෙසුම් තුළ, බහුලව සඳහන්ව නැත. එහෙත්, පිරිනිවීමට ආසන්න මොහොතේ
දෙසුනු අවසාන සූත්‍රය වන “මහා පරිනිබ්බාන සූත්‍රයෙහි” ත් ඊට පෙර අවස්ථාවෙක
දෙසුනු “සංවේජනීයාන සූත්‍රය” (අංගුත්තර නිකාය 2) වැනි තවත් සූත්‍ර ධර්ම එකක
දෙකක ත් “බුද්ධ ශක්තිය පිහිටන ස්ථාන 4 ක්” පිළිබඳව සඳහන් කර විස්තර කර ඇත. පරිනිබ්බාන
සූත්‍රයෙහි, අනඳ හිමියත් විචාරන ලද පැනයකට පිළිතුරු ලෙස, මෙම “චත්තාරිමාණිථානානි”
ලෙස නම් කෙරුනු ස්ථාන 4 ත්, එම ස්ථාන වල වැදගත් කමත්, සද්ධස්ස කුලපුත්‍රයෙකුට
සෝවාන් ඵලයට අවතීර්ණ වීමට එම ස්ථාන වල පවතින බුද්ධ ශක්තියේ අවශ්‍යතාව හා
වැදගත්කම ගැනත් විග්‍රහ කර තිබේ. එම තැන් වලට කේන්ද්‍රගතව පවතින බුද්ධ ශක්තිය, එනම්
බව+උද්ධ කිරීමේ ශක්තිය ට අනුගත
වීමෙන්, තම සිත් තුළ ශක්තිමත් ලෙස එළ්බ ගත් “බව” තනන ශක්තිය හෙවත් රාග දවේශ මෝහ නම්වූ කෙළෙස්
මුල්, උදුරා දැමීම, පහ කිරීම කළහැකි බව බුද්ද වචනය යි. එම ස්ථාන 4 නම්,
1. බෝසත්
උපත සිදුවූ ස්ථානය (ලුම්බිනිය)
2. බුද්ධත්වය
ට පත්වූ ස්ථානය (බුද්දගයාව)
3. ප්‍රථම
දහම් දෙසුම පැවැත්වූ ස්ථානය සහ (ඉසිපතන ය)
4. පරිනිබ්බානය
සිදුවූ ස්ථානය (කුසිනාරාව)යන 4 යි.
බුදුන් වහන්සේ, මේ කරුණු අඩංගු සංවේජනීය සූත්‍රය
දේශනා කර ඇත්තේ, සැවැත් නුවර ජේතවන විහාරයේදී, “කේසි වග්ග”යට අයත් සූත්‍ර ධර්ම 10 න් 8 වැන්න ලෙසය. එනම්, මහා
පරිනිබ්බානයට යම් කලකට පෙර මේ සූත්‍ර ධර්මය දෙසූ බව තේරුම් ගත හැකියි.
එහි “සද්දස්ස කුලපුත්තස්ස” ලෙස දක්වා තිබෙන්නේ, සෝතාපත්ති
අංගයන්ගෙන් මුල් දෙක වන, සප්පුරිස සේවනය සහ සද්ධම්ම ශ්‍රවනය පූරණය කළ, (එනම් කෙළෙස් ප්‍රහානය කරන අයුර
පැහැදිළිව දුටු “සද්පුරුෂයෙකු” වෙතින්, “නියම නිවන් මග” අසා දැනගත්,) “සද්ධෝ හෝති”
තත්වයට පැමිණි පුද්ගලයා ය. නියම ධර්ම මාර්ගය පිළිබඳ අසා ගත් දැනුම දැන් ඔහු සතුය. නමුත්, එම කළ්‍යාණ මිත්‍රයාගේ
දැණුම තමන්ගේ ම දැණුමක් බවට තවම හැරවී නැත. අසාගත්තා පමණි. එය “තමන්ගේ” වන්නේ තමන්
ම අත්හදා බලා, තම අත්දැකීම තුළින් “ප්‍රත්‍යක්ෂ” වූ විට පමණි. (උදා- යම් කැවිලි
වර්ගයක් සකස් කරන අයුරු අසා දැනගත්ත ද, එය තමන් විසින් ම ප්‍රායෝගිකව අත්හදා බලන
තෙක්, එහි නියම වැටහීම නොලැබෙන සේය.) “බව
උදුරා ඉවත් කිරීම” යනු අතීශය අමාරු කාර්‍යයකි. ඊට සාමාන්‍ය
මිනිසෙකු සතු “ස්ව ශක්තිය” ප්‍රමාණවත් නැති බව ත්, එනිසා ඊට විශ්වයේ පවතින
“බුද්ධ ශක්තිය” කේන්ද්‍රගතව ඇති ඉහත ස්ථාන 4න් එකක් වෙත ගොස් “දස්සනීයං සංවේජනීයං”
කියන අවශ්‍යතාව
සපුරා ගත් කළ, සද්ධස්ස කුළපුත්‍රයින්ට මෙම බව උදුරා දැමීම ආරම්භ කිරීමේ මුල් පියවර
වන සෝතාපන්න වීමට උදව්වක් (තල්ලුවක්) ලැබෙන බවත්, බුද්ධ දේශනාවට ඇතුල්
කෙරෙන්නේ, අපට එම අමාරු කඩ ඉම පැන ගැනීමේ උපක්‍රමය පෙන්වා, එම හැකියාව උදා කර දීමට
යි. නමුත්, භාෂා පරිවර්තන දෝෂ නිසා මෙම විග්‍රහයේ තිබෙන මූලික ම වැදගත් කම යට ගොස්
ඇත. මෙහි ඇති සංවේජනීයං හි නියම
ධර්ම අරුත වෙනුවට “සංවේග කළ යුතු” ලෙසයි සිංහල පරිවර්තනයේ ඇත්තේ.
නමුත් නිවැරදිව ධර්මය දකින විට ‘සංවේජනීයං’ පදය, සං + වේ + ජ + නීයං ලෙස
පැහැදිළි වෙයි.
සං
- රාග ද්වේශ මෝහ
වේ
- වේදනාව, වේගය, වේමත්තතාවය
ජ
- ජනනය
නීයං
- නැති කරමින්
එය
ගලපන විට, “ සං බිහි වීමට නොදී, ඉන් ජනනය වන වේදනාව නැති කරමින් සිටීම යි.
සරලව ගත් විට, සද්ධස්ස කුලපුත්‍රයින් මේ එක් සථානයකට
ගොස් දැක බලා, කළ්‍යාන මිත්‍රයාගෙන් තමන් උගෙන ගත් සතර අනුස්සති අනුව සං
උදය වීමට ඉඩ නොතබා යම් කුඩා (විනාඩි කිහිපයක) කාලයක් ගත කිරීමෙන් බුද්ධ
ශක්තියට අනුගත විය හැකි බවයි.
(අර්ථ විකෘතීන් අති විශාල සංඛ්‍යාවක් ඇතුල් කෙරී ඇති
ත්‍රිපිටක සිංහල පරිවර්තනය තුළ දක්නට ලැබෙන, නිවන් මඟ පූර්ණ වශයෙන්ම වැසී යන
මෙවැනි ප්‍රධාන මර්මස්ථාන ගනන සුළු පටු නැත. “ආශ්‍රය” සහ “ප්‍රහානය” ගැන දෙසූ
“අස්ස සහ පස්ස” පරිවර්තනය වුනේ “ආස්වාස සහ ප්‍රාස්වාස” ලෙසිනි. “අනිච්ඡ දුක්ඛ
අනත්ත” වචන “අනිත්‍ය දුක අනාත්ම” විය. “එතං සන්තං එතං පනීතං” “තෙල සාන්තය තෙල ප්‍රණීතය” විය. මේ දෙක තුනක්
පමණි. මේ දෝස සහිත පරිවර්තනය “බුද්ධ වචනය” යයි ගැනීම නිසා, අප සාසනය, මගඵල ලාභීන්
නැති හිස් තැනක් බවට පත්විය. දහම උගත් ගිහි පැවිදි ඇත්තන් “කෝ, මෙතන නිවන නැහැ නොවැ”
කියා දුටුවේ නැත. ප්‍රශ්ණ කළේ නැත. සොයා බැලුවේ නැත. එසේ සොයා බැලුවා නම් සියළු
පරිවර්තන විකෘතීන් දකින්නට, නිවැරදි කර ගන්නට ඉඩ තිබුනි.)
(එසේම මෙතැන දී, අද වන විට දැඩි මත
වාදයකට පාත්‍රව ඇති “බුදුනු වැඩ සිටි දේශය කුමක්ද?” යන්න නිවැරදිව දැන ගැනීම,
පැහැදිළි කර ගැනීම, අනිවාර්‍යය වන බව, මේ දහම් කරුණ අනුව, තේරුම් ගත යුතු ය. නැතහොත්
බුද්ධ මාර්ගයේ මුල් පඩිය වන “සෝවාන් ඵලය” වත් නොදකින්නට ද බෙහෙවින් ඉඩ ඇත.
එනම් “බුදුන් කොතැන සිටියා වුවද කම් නැත. ධර්මය පමණක් සෑහේ” කියන අදහස නිවැරදි නොවන
බව, මේ බුද්ධ වචනය තුලින් ම පැහැදිළි ව පෙනේ.)
බුද්ධ ශක්තිය
යන්නෙහි අර්ථය කුමක්දැයි දැනගැනීම ත් වැදගත් ය. බුද්ධ යනු බ+උද්ධ හෙවත්
‘බව + උද්ධ’ කිරීම යි. “බව උදුරා දැමීම යි. එසේ නම්, බුද්ධ ශක්තිය යනු බව උදුරා දැමීම පිණිස අප යෙදිය යුතු ශක්තිය
යි. ගසක් ඉදිරීමට යම් ශක්තියක් යෙදිය යුතුය. එය, ගසෙහි ප්‍රමාණය, මුල් විහිදී ඇති
පරාසය මෙන්ම පසෙහි ස්වභාවය ආදිය අනුව තීරණය වන ශක්ති ප්‍රමාණයකි.
එමෙන්ම, “බව” උදුරා දැමීමට ත් දැඩි ශක්තියක් අවශ්‍යයි.
බව යනු “රාග බව, ද්වේශ බව සහ මෝහ බව හෙවත් කාම බව, රූප බව සහ
අරූප බව” ලෙස ධර්මයේ සදහන්. අප ඉතා හොඳින් දන්නා රාග බව, ද්වේශ බව සහ මෝහ බව
සිතින් ඉවත් කිරීම පහසු කටයුත්තක් ද? ඒ සඳහා සාමාන්‍ය මිනිසෙකු තුළ පවතින මුළු
ශක්ති ප්‍රමාණය ම යෙදූවද, ප්‍රමාණවත් නොවන බවයි, සූත්‍ර ධර්ම දෙකක බුදුන් පනවා වදාළ “චත්තාරිමාණි ඨානානි” පිළිබඳ විග්‍රහයෙන් අප තේරුම් ගත යුතු ධර්මතාව
වන්නේ. ලෝකයේ, මෙම බුද්ධ ශක්තිය පවතින්නේ විශේෂ ස්ථාන 4 ක් මත පමණක් බවත්, එම
ස්ථාන සතර පිහිටා ඇත්තේ ජන්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලයේ බවත් ධර්මයේ පැහැදිළිව
විග්‍රහ වෙනවා. පෙර බුදු වූ සියළු බුදු වරයින්ගේ ද අප ගෞතම බුදුන්ගේ ද, එසේම මතු පහල
වන සියළු බුදු වරයින්ගේ ද උපත, බුදුබව, පිරිනිවීම සහ ප්‍රථම දෙසුම සිදු වුනේ
සහ සිදු වන්නේ මෙම ස්ථාන වලදීම බවත් දෙසුමෙහි සදහන්.
අප බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි වසර 45 තුළ මෙම
ස්ථාන 4 මත පමණක් කේන්ද්‍ර ගත නොවී, උන් වහන්සේ අවට මුළු ජන්බුද්වීපය පුරාම පාහේ මේ
බුද්ධ ශක්තිය විසිරී පැතිරී තුබූ බව ධර්මයේ (පරිනිබ්බාන සූත්‍රයෙ
හි) කියැවෙනවා. එනිසා, එම කාළය තුළ, මෙම “චත්තාරිමාණිඨානානි” පිළිබඳ මතුකර පෙන්වා දීමක් අවශ්‍ය නොවන්නට ඇති.
එහෙත්, මහා පරිනිබානය ආසන්න වෙද්දී, මතු පරම්මරාවන්ට බුද්ධ ශක්තිය පිළිබඳ විග්‍රහය
අවශය වන නිසා විය යුතුයි, ඒ අවසාන ධර්ම දේශණාවටත් මෙය අඩංගු කෙරුනේ. එම නිසා “මෙම
කරුණ සදහා ධර්මයේ වැදගත් තැනක් දී නැත, බුදු රදුන් තම අවසාන විනාඩි කිහිපය තෙක්
මෙම කරුණ නො දෙසූවේ, එහි එතරම් වැදගැම්මක් නැති නිසා විය යුතුය” ලෙස උපකල්පණ
මත, එම කරුණ අතහැර දැමීම, මගහැර යාම සුදුසු නොවන බව අවධාරණයෙන් කිව යුතුය. දම්සක්
පැවතුම් සූත්‍රයේ සිට මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා දෙසුනු කිසිම ධර්ම දෙසුමෙක එක
අක්ෂරයක් හෝ අත් හැර දැමිය හැකි, දැමිය යුතු, නොවේ මය. (බුදුන් වහන්සේ සංවේජනීයාන
සූත්‍රයේ “චත්තාරිමාණිඨානානි” පිළිබඳ විග්‍රහය කර වදාළේ ඒ අවසාන මොහොතේදී නොවන
බවත් නැවත මතක් කර ගත යුතු කරුණකි)
ලොව මෙතෙක් පහල වූ සහ මතු පහළ වන සියළුම බුදු, පසේ
බුදු සහ අරහත් බුදු වරයින් පිරිනිවන් පෑමේදී, උන් වහන්සේලාගේ කරජ කාය මිය යන
බවත්, චිත්තජ කාය අන්තර්දහනය වී යන
අතර මනෝමයකායයන් එසේ අන්තර්දහනය නොවන බවත්,
එම මනෝමයකායයන් සියල්ල ශක්ති විශේෂයක් ලෙස මේ චත්තාරිමාණිඨානානි කියන ස්ථාන 4 ට කේන්ද්‍රගතව
සදා පවතින බවත්, බුද්ධ ශක්තිය යයි හැඳින්වන්නේ එම ඒක කේන්ද්‍රීය වූ එම ශක්ති එකතුව
බවත්, දේශණා වල කියැවෙනවා.
සෝතාපන්න වීමෙන්, එනම්, අරිය අට්ඨංගික මාර්ගයට අවතීර්ණ වීම
පූරණය වන විමෙන් පසු, එම අරිය අට මඟෙහි ඉතිරි කොටස පූරණය සඳහා, දිගටම සතර
කමටහන් වැඩිය යුතු වෙනවා. එනිසා එම සතර කමටහන කුමක්දැයි එකිනෙක ගෙන විග්‍රහ කර
ගත යුතුයි.
1. අසුභානුස්සතිය
“අසුබ”
යනු “සුභ” යන්නෙහි
විරුද්ධාරුථයයි. “සුභ” යනු “සුඛ + බව” යි. එනම් සුව සැප ඇති බව යි.
අප නා නා දෑ සමඟ කැමැත්තෙන් ම බැඳෙන හේතු අතර පළමුවැන්න වන්නේ, “ඒ දෑ තුළින් යම්
සැපයක් ලෙබේවි” යි කියන බලාපොරොත්තුව හෙවත් බැඳීමකට තුඩු දෙන පළවන වේශය යි.
එම බැඳීම බිඳ දැමීමට නම්, “එයින් අපට සැප නොලැබේ, එය සිතින් අත් හැර දැමිය යුතුය”
යන හැඟීම සිත මුදුනට තබා ගත යුතු වෙයි. “මේ දෙය සමඟ බැඳීමෙන් මා අනාථ වෙනු
නියතයි. අත්හැරීම නාථ යි” ලෙස වන “අසුභ” ය මෙනෙහි කරන විට, සිත තුළ
වැඩෙන්නට ආ ප්‍රිය බවේ හැඟීම යටපත් වී “සමථ” තත්වයක් ඇති වෙයි. (එය
සමථ කමටහන කි)
2. මෙත්තානුස්සති
ක්‍රෝධ
ය, වෛර ය, ව්‍යාපාද ය, පටිඝ ය, ද්වේශය වැනි
හේතූන් නිසා ත්, අප සිත නා නා දේ සමඟ කැමැත්තෙන් ම බැඳෙයි. “ඒවා අත් නොහැර මා තුළ
පැසව පැසවා තබා ගත යුතුයි, ඊට එරෙහිව කටයුතු කළ යුතුයි, ඒවා/ඔවුන් පරාජයට
පත් කර, එම සටනින් මා ජය ගත යුතුයි, ඉන් මට සතුටු විය හැකියි, එය මට සැපෙකි” යි
කියන බලාපොරොත්තුව, හෙවත් බැඳීමකට තුඩු දෙන කැමැත්ත දෙවන වේශය යි. මෙම ද්වේශය
සිතක මතු වෙන අවස්ථාවේදී ම, එම ද්වේශයට භාජනය වන දෙයට හෝ පුද්ගලයාට හෝ සත්වයාට
මෙත් වැඩීමෙන්, එනම් “මුළු මහත් ලෝක සත්වයනට මෙන්ම ඔහුට ද යහපත වේවා, දුක් නොවේවා,
සද්ධර්ම අවභෝධය ලැබී නිවන් සුවයෙන් සදා සැණසීම ලැබේවා” ලෙස මුළු හිතින්ම
අවංකව ම ප්‍රාර්ථනා කිරීම තුලින්, අප තුළ අවදි වෙන්නට ගිය ද්වේශය ඒ මොහොතේදීම
යටපත් කර “සමථ” තත්වයක් ඇති කර ගත හැකියි. (එය ද සමථ කමටහන කි)
මෙහි දැක්වූ පළවන වේශය සහ, දෙවන වේශය යන දෙකෙහි සම්බන්ධතාවය ගැන මෙතැනදීම විස්තර කිරීම සුදුසුයි. ඕනෑම දෙයක්
හෝ පුද්ගලයෙක් පිළිබඳව බැදීමක් අරඹන මුල් ආකාරය වන්නේ, එය ප්‍රිය ස්වභාවයෙන්
ගැනීමයි. එනම්, එය මට සැප ගෙන දෙනු ඇතැ’යි සිතා බදා ගැනීමයි. එහෙත්, මඳ කලතින් ම, ඒ
බලාපොරොත්තුව සුන්ව යන විට, මුලින් දුටු “ප්‍රිය” ස්වභාවය ඉවත්වී දෙවන දැක්ම, දෙවන
වේශය වන “අප්‍රිය” ස්වභාවය ඉස්මතු වෙයි. එනිසා ප්‍රථම වේශය “රාගය” ත්. දෙවන
වේශය “ද්+වේශය” ත් වේ. (දෙදෙනෙකු අමනාප වෙන්නට නම්, ප්‍රථමයෙන් ඔවුන් මනාප යාළුවන්
බවට පත් වී සිටිය යුතුයි. ප්‍රිය බව තනන රාගය නිසා පසු කලෙක ද්වේශයට පෙරැලෙන අන්දම
ගැන මෙවැනි උදාහරණ සෑම පැත්තකින්ම සුලභ ව දැකිය හැකියි.)
3. මරණානුස්සති
ඉහත
අවස්ථා දෙකේදීම, එම මොහොතේ සිත තුල පැන නගින්නට තැත් කළ රාගයත් ද්වේශයත් යටපත් කර
සිත “සමථ” යට පත් කරගත් නමුත්, එම යටපත් වූ රාගයත් ද්වේශයත් සිත තුළ යලි මතු කළ
හැකි මෝහය තව දුරටත් සිත
තුළ “ජීවත් වන බැවින්” නැවත එම රාගයත් ද්වේශයත් මතු නොවන සේ
නිදහස ලැබීමට නම්, ඒ, අප තුළ ජීවත් වන මෝහය “මරණයට පත් කළ යුතු” වෙනවා.
රාගයත් ද්වේශයත් මෙන් මෝහයට “සමථයට” පත් කිරීමක් අවශ්‍ය නැත. රාගයත් ද්වේශයත් ඇවිළෙන
ගිනි දැල් බඳු දෙකකි. එනිසා, මුලින්ම එම ගිනි දැල් නිවා දැමිය යුතු නිසා එම දෙකට
“සමථය” අවශ්‍යයි. මෝහය යනු අළු යට ගිනි පුළිඟු බඳු දෙයකි. එය පවතින්නේ ම “සමථ”
අවස්ථාවේ මය. එම ගිනි පුළිඟු අළු යට පවතින තාක් නැවත අර දෙවර්ගයේම ගිනි දැල්
මතුවිය හැකිය. ඉන් තේරුම් ගත යුත්තේ, රාගය
සහ ද්වේශය “සමථ”යට පත් කිරීමෙන් පමණක් බව+උදුරා දැමීම කළ නොහැකි
බවයි. සිත තුළ පවතින රාගයත් ද්වේශයත් නැවත නූපදින ලෙස ඉවත් කිරීමට නම්, අසුභ සහ
මෙත්ත අනුස්සති, එනම් “සමථ” අනුස්සති පමණක් වැඩීම ප්‍රමාණවත් නොවන බැවින්, එකී
“සමථ” ය සමග ම “සමථය” ඉක්මවා ගිය “මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් වැඩීම අවශ්‍ය
වන බවයි. සමථය ඉක්මවා යන මෙම දෙවන කාණ්ඩයේ අනුස්සතීන් “විපස්සනා” කමටහනක්
ලෙස ධර්මයේ නම් කෙරී ඇත. මෙම “විපස්සනා” යන පදයේ ධර්ම අර්ථය “ වි + පස්සනා” ලෙස ගත
යුතුයි. එහි “වි” හි අරුත “විෂ සහිත / විකෘති වූ ආකල්ප” ලෙස ද, “පස්සනා” හි අරුත, “ප්‍රහානය
කිරීම” ලෙස ද විය යුතු බව පැහැදිළිව පෙනෙයි. එවිට “විපස්සනා” යනු “විකෘති ආකල්ප
ඉවත් කිරීම” යි.
මෝහය යනු “ප්‍රිය ද? නැත්නම් අප්‍රිය ද ? ලෙස මැන බලන එසේම,
ප්‍රිය නැතත් අප්‍රිය නැතත් අත් නොහැර සිත තුළ තබා ගන්නා ස්වභාවය” බව පෙර විග්‍රහ
විය. එසේ මනින්නේ ත් බෙදන්නේ ත් තබාගන්නේ ත් පෙර විග්‍රහ කර ඇති සේ, “නිච්ච,
සුඛ, අත්ත” ලෙස දකින වැරදි දෘෂ්ටිය නිසා ය. එසේ නම්, මෙතැන දී “මෝහය” නමින් අප
මරා දැමිය යුත්තේ එම වැරදි “නිච්ච, සුඛ, අත්ත” ලෙස ගත් වැරදි දෘෂ්ටිය ම වේ.
වැරදි වූ “නිච්ච, සුඛ, අත්ත” මරා දැමීමට නම්, නිවැරදි වූ “අනිච්ච, දුක්ඛ
අනත්ත” දෘෂ්ටියට පන දී එය සිත තුළ ජීවත් කරවිය යුතු වෙයි. මරණානුස්සති ය යනු මෙයයි. (මරණය ගැන මෙනෙහි කිරීම නොවේ)
4. බුද්ධානුස්ති
බුද්ධානුස්සතිය
යනු “අනිච්ඡ දුක්ඛ අනත්ත” වැඩීමයි. මෙය
“බ+උද්ධ+අනුස්සති ලෙස විභංග කර විමසිය යුතුයි. එහි ඇත්තේ, බව උදුරා දැමීම
තුළ සිත පිහිටුවා තැබීමයි. බව යනු රාග බව, ද්වේශ බව සහ මෝහ බව කියන බව තුන යි. (කාම
බව රූප බව සහ අරූප බව කියා ද ධර්මයේ “බව”
විග්‍රහ කෙරෙයි. මේ බව තුන ත්, රාග ද්වේශ මෝහ තුනෙහි ඵල ම වෙති) මේ තුන් බව ම නැති
කිරීම, උදුරා දැමීම, “අනිච්ච, දුක්ඛ අනත්ත” ලෙස දෘෂ්ටිගත වීම විසින් සිදු
කෙරෙන නිසා, මරණානුස්සති ය නිවැරදිව වැඩෙන සිතක බුද්ධානුස්සති ය ද නිතැතින්
ම වැඩෙයි. (මෙය ද විපස්සනා කමටහන කි)
මින් ඉදිරියට තව අනුස්සති 6 ක් තිබෙන නමුත්,
අසුභානුස්සති යත්, මෙත්තානුස්සති යත් මරණානුස්සති යත් යන තුන නිවැරදිව වැඩෙන
විට නිතැතින් ම වැඩෙන බුදධානුස්සති ය
ලෙසම, එම ඉතිරි අනුස්සති 6 ද නිතැතින්
වැඩති.
බුදුන් වහන්සේ අපට පෙන්වා වදාළේ, මේ සතර කමටහන්
බහුලව භාවිතා කිරීමටන් (භාවිතා බහුලීකථා) පියවරෙන් පියවර සතර මග සතර ඵල පසුකර
අරිහත්වය සාක්ෂාත් කළ හැකි බවයි.
මේ
සතර අනුස්සති වැඩිය යුතු කුමන අවස්ථාවකදීද? කෙසේද? වඩනවා කියා කුමක් කළ යුතුද?
මේ සතර අනුස්සති වැඩීම, දවසේ කිසි යම් වූ නිශ්චිත
වෙලාවක, කාලසටහනක් අනුව, පාළු, නිශ්ශබ්ධ, නිසංසල ස්ථානයකට, හෝ පන්සලකට ආරණ්‍යයකට බෝධිමූලයකට
භාවනා පංතියකට ගොස්, සැතපී, වාඩි වී, සිටගෙන සහ සක්මන් කරමින්, කියන්නා වූ ඉරියව්
සතරෙන් එකක පිහිටා දෙනෙත් පියාගෙන වැඩිය යුතු වැඩීමක් ද? දෙනෙත් වසා ගෙන අර වැනි
නිසල ස්ථානයක කරන භාවනාවෙන් මිදී, දෙනෙත් ඇර සාමාන්‍ය ලෝකයේ කලබලකාරීත්වයට හසු වන
විගස සිත නැවත ව්‍යාකූල නොවෙති’යි සහතික කොට කිව හැකිද? පාළු පාරක වාහනයක් පැදවීමට
පුරුදු වීමෙන් මහ මගක වාහන පැදවිය හැකිද? අපේ සිරුර ආරණ්‍යයකට බෝධිමූලයකට රැගෙන ගොස්,
යම් කාල පරාසයක් තුළ සිත එක්තැන් කර ගත්තා ද, එම එක්තැන් බව දිගටම පවත්වාගෙන යා
හැකි නොවේ. සමහර විට, ඒ භාවනාව කරන කෙටි කාලය තුල වත් සිත නිසල කිරීමට, නිශ්ශබ්ධ
කිරීමට අපහසු ය. එබැවින්, අපේ සිරුර, තැන තැන ගෙන යමින් නිසංසල කිරීමට කරන උත්සාහය
නිෂ්ඵල බව තේරුම් ගත යුතු සත්‍යයකි. එසේම, යම් කෙටි කාලයක් “භාවනාවක” නිරත වී
එයින් මිදී නැගිටීම නොව, අවශ්‍ය වන්නේ, අප අවදියෙන් සිටින සෑම තත්පරයක් තුළම,
අනුස්සති වැඩීම “බහුලව භාවිතා කිරීම” යි. බුද්ධ දේශණාවේ සදහන් කර තිබෙනුනේ “භාවිතා
බහුලීකථා” ලෙසයි. බහුලව භාවිතාව යනු
අද සම්මතයේ පවතින “භාවනාව” නොවෙයි. මහ බෝසතුන් වහන්සේ වන වැදී වසර 6 ක් පුරා
විමුක්තිය සෙවුවේ ඔය ආකාරයේ භාවනා වෘත තුළිනි. එහි අර්ථයක් නැති බව දුටු උන් වහන්සේ
“මජ්ජිමාපටිපදාවට” තම ගමන් මඟ වෙනස් කළහ. මජ්ජිමාපටිපදාව යනු “මත් බවෙන් මිදී
සිටීම” (මජ්ජි+මා) යි. උන් වහන්සේ, ගතානුගතිකත්වයේ මත් බව අත
හැර, තමන් සොයන විමුක්තිය දැකීමට නම්, මෙතෙක් නුදුටු යම් සත්‍යයක් සෙවීමට තිබෙන බව
දැක, ඊට මුළු ශක්තිය යෙදීමට අධිෂ්ඨාන කිරීමයි එතැන සිදුවූ වෙනස. (එය මැදුම්
පිළිවෙත ලෙස පරිවර්තනය වීම ද විශාල දෝෂයකි). දැන් සම්මතයේ කෙරෙන භාවනාව යම්
කිසි ගතානුගතික වෘතයක් (සීලබ්බතයක්) සමාදන් වීමක් පමණි. (සීලබ්බතපරාමාසය යනු සෝවාන්
වන විට ඉවත්ව යන සංයෝජනයකි)
මෙහිදී, “සතර සතිපට්ඨානන සූත්‍රය” ගුරුකොට ගැනීම
අවශ්‍ය වෙයි. එහි 3 වැනි ගාථාව ගනිමු.
මෙහි, මෙම ගථාව සහ ගාථාවත් කිහිපයකම එන
·
අරඤ්ඤගතෝවා
·
රුක්ඛමූලගතෝවා
·
සුඤඤාගාරගතෝවා
·
නිසීදති පල්ලංකං ආභූජිත්වා
·
උජුංකායං පනිධාය
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා
නම් කොටස් එකිනෙක පිළිබඳව මඳක්
විමසිය සුදුසයි.
අරඤ්ඤගතෝවා
මෙය අ + රඤ්ඤ ලෙස බෙදමු. රඤ්ඤ යනු රණ හෙවත් යුද්ධ/හටන් වෙයි.
එවිට අ රඤ්ඤ යනු සටන් බිමෙන් ඉවත් වීමයි. මෙය සිත තුළ සිදු වන්නක්, සිදු
විය යුත්තක් මිස, භෞතික සිරුර අරණ්‍යකට කැලයකට රැගෙන යාමක් විය නොහැකි බව දහම
විනිවිද දකින්නෙකුට පෙනෙන සත්‍යයකි.
රුක්ඛමූලගතෝවා
මෙතැනදී
ද අප භෞතික සිරුර ගසක් මුලට රැගෙන යාමක් විය නොහැකිය. රුකෙ ක මුල යනු, බාහිර සුළඟකට
සෙලවිය හැකි අංගයක් නොවේ. අප සිත ද, ගසක මුල සේ, බාහිර අරමුණු වලින් නොසෙල්වෙන
සේ තබා ගත යුතු බවයි මෙහි ධර්ම අර්ථය වන්නේ.
සුඤඤාගාරගතෝවා
මෙතැනදී
ද අප භෞතික සිරුර සුසාන භූමියක් වැනි හිස් තැනකට ගෙන යා යුතු බව නොවේ නියම අර්ථය
විය යුතු. අප සිත සුඤඤාගාරයක් කළ යුතු බවයි. එනම්, රාගයෙන් සහ ද්වේශයෙන් ශූන්‍ය
වූ සිතක් පවත්වා ගත යුතු බවයි.
නිසීදති පල්ලංකං අභූජිත්වා
භූමි
මට්ටමටම පහත්ව හිඳගැනීම ලෙස පෙනුනත්, එහි ධර්ම අර්ථය වන්නේ “සියළු මානයන් ඉවත ලා,
පොලෝ මට්ටමට සිත පහත් කරන” ලෙසයි.
මේ විස්තර කෙරුනේ, අනුස්සති භාවිතා කිරීමට එනම්
ධම්මානුධම්මපටිපදාව ට ප්‍රවිෂ්ඨ වීම සඳහා අප මනස සකස් කර ගත යුතු ආකාරයයි. තමුන්
ඉන්නේ කොතැනද, මොන ඉරියව්වෙන්ද, කරමින් සිටින්නේ මොනවාද, වැනි කිසිවක් අදාල නැත. කොතැනක,
කුමන ඉරියව්වෙන්, කුමක් කරමින් සිටියත් මීට භාධාවක් නැත. දුකින් මිදීම පරම අරමුණ
කරගත් විට, එම අරමුණ සාර්ථක කරගැනීම වෙනුවෙන් ඊට ඇප කැපවී, අන් සියළු අරමුණු පසෙක
ලූ විට, ඒ කියන පෙර සූදානම සකස් කර ගැනීම අපහසු නොවනු ඇත. සිතෙහි (යුධ) කලබල ගති
නැති කොට, නැවත එම කලබල තුළට ගසාගෙන නොයන සේ සිත නිසල කොට, රාගාදී කෙලෙස් නැති වන
සේ සිත ශූණ්‍ය කොට, සියළු උස් මානයන් ඉවත් කර සිත බිමට ම පහත් කොට තැබූ කල්හි, එම
සිත, හොඳින් ඇමැදූ සුදු වැලි තලාවක් බඳු වෙයි. දැන් ඒ මතට එක් වියලි කොළයක් වැනි
යමක් පතිත වූ සැණෙකින් “අන්න යමක් වැටුණා” කියා හඳුනා ගැනීමේ හැකියාව ලැබේ. (කුණු
බහුල මිදුලකට ‘තව කොළයක් වැටීම’ එසේ වෙන් කර දැකිය හැකිද?)
උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා
පරිමුඛං
යනු “අප තුළට අරමුණු ඇතුල් වන සියළු මුඛ” යි. “සතිං” යනු “හේතු ඵල ධර්මය හා
ගලපමින් ණය විණය හා සසඳමින්” යන්න යි. “පනිධාය”
යනු “ නිධන් වීමේ ප්‍රභවය” යි. “උජුං කායං” යනු “ඍජු ක්‍රියාකාරීත්වය (හෙවත්
පංචක්ඛන්ධ ක්‍රියාත්මක වීම)” යි. උපට්ඨපෙත්වා
යනු “ඇප-කැපවීමෙන් යුතුව”, යන්නයි.
එම
අරුත් සියල්ල ගලපන විට,
“ඇප-කැපවීමෙන්
යුතුව, හේතු ඵල ධර්මය හා ගලපමින් ණය විණය හා සසඳමින්, අපේ ඉන්ද්‍රියන් 6 හරහා සිත
තුළ නිධන් වීමට ප්‍රභව වන පංචක්ඛන්ධ ක්‍රියාකාරීත්වය දෙස, පරීක්ෂවෙන් බලා සිටිය
යුතු” බවයි.
රූපයක් තැනීමේ සිට, වේදනාවක් තැනීම, සංඥාවක් තැනීම, සංඛාරයක්
තැනීම සහ විඤ්ඤාණයක් තැනීම දක්වා කරන ක්‍රියාත්මක වීම් දෙස, මහත් ඕනෑ කමක්, ඇප-කැප
වීමක් සහිතව, හේතුඵල දහමට අනුව ඒ ඒ අරමුණ නිසා මතු ණය වීමක් සිදුවේදැ’යි පරීක්ෂා
කාරීව කල් ගෙවීමයි”.
ඒ අනුව, ඉහත
මුළින් කී පෙර සූදානම අනුව, “උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” ලෙස
පංචක්කන්ධ ක්‍රියාකාරීත්වය දෙස විමසීමෙන් බලා සිටීමෙන්, එම මුඛ වලට අළුතින් යම්
අමුණක් එන විටම එය වෙන් කර හඳුනා ගැනීමට ත් අපට හැකි වෙනු ඇත.
එම ගථාවේ මී ලඟ කොටස වන “සො සතොව අස්සසති සතොව
පස්සසති” ගත් විට, ඉහත ලෙස, ගත වන සෑම තත්පරය ම සුපරීක්ෂාවෙන් බලා සිට, අළුත් අරමුණක් පතිතවූ සැණ
ම “හේතුඵල දහමට අනුව ඒ ඒ අරමුණ නිසා මතු ණය වීමක් සිදුවේදැ’යි පරීක්ෂා කාරීව”
අස්ස (ආශ්‍රය) හෝ පස්ස (ප්‍රහාණය) කළ යුතු දෑ තෝරා ගත යුතු වෙනවා.
මී ලඟට, “දීඝංවා” ලෙස, වත්මන් මොහොතට පෙර
දිගු සසරෙහි දී සිත තුළ ගොඩගැසුනු මතකයන් යලි මතු වීම් ද “රස්සංවා” ලෙස,
මෙම වත්මන් මොහොතේ දී පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන නව අරමුණු ද යන දෙකොටසම එම
සුපරීක්ෂාවට භාජනය කර වෙන් වෙන් ව (පජානාති) එම අරමුණෙහි හඳුනා ගැනෙන
“සුදුසු දෑ” ආශ්‍රය කිරීම පිණිස තබා ගැනීමට ද “නුසුදුසු දෑ” ප්‍රහානය කර
දැමීම ද කළ යුතු වෙනවා. බුදු දහමේ “අස්ස” සහ “පස්ස” යනු මේ ක්‍රියාවන්
දෙකයි.
(සිංහල අප වෙත දහම අවභෝධය පහසු කිරීමේ අරමුණින්
මාගධී අටුවා හෙල බසට හරවා ලියූ, ධර්මය නොදුටු, එනම් මගඵල සාත්ෂාත් නොකළ
බුද්ධඝොෂ හිමියන් හට හරි හැටි නොතේරුනු
මෙම “අස්ස” සහ “පස්ස” යන පද දෙක, “අස්වාශ සහ ප්‍රශ්වාස” ලෙස පරිවර්තනය කිරීම
නිසා, නිවන සදහා බුදුන් වහන්සේ අපට අනුදැන වදාළ “එකම” ක්‍රියාව වන මේ “ආනාපානාසතිසමාධි”
ය වැඩීම, බොහෝ කළක් තිස්සේ “හුස්ම ඉහල පහල දැමීමකට” පෙරලී නිවන් මග පූර්ණ වශයෙන් ම
වැසී තිබුනි).
මෙම “ආනාපානාසතිසමාධි” ය වැඩීම හෙවත් සතර
අනුස්සති වැඩීම කළ යුතු කෙසේද? කුමන වෙලාවක ද?
·
අප අවදිව සිටින සෑම
තත්පරයක ම, අරඤ්ඤගතව, රුක්ඛමූලගතව, සුඤ්ඤාගාරගතව, මානය බිමට ම පහත් කොට, පෙර
සූදානම සකසා, උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා ලෙස මුඛ හයට එන අරමුණු
කෙරෙහි අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍යයි
·
පංච ඉන්ද්‍රියයන්ගෙන්
එන “රස්සංවා” අරමුණු මෙන්ම, මන තුළින් එන “දීඝංවා” අරමුණු තෝරා බේරා,
o
එය රාගයට අදාල නම්, ඒ
සැණයේදී ම “අසුභානුස්සතිය” වඩා එම රාගය “සමථ” කළ යුතුයි. සමථය ප්‍රමාණවත් නැති
නිසා එසැණදී ම “මරණානුස්සතිය” ද වඩා එහි
මුල ද ගලවා දැමිය යුතුයි.
o
එය ද්වේශය අදාල නම්, එ
සැණදීම “මෙත්තානුස්සතිය” වඩා ද්වේශය “සමථ” තළ යුතුයි. මෙතැනදී ද සමථය ප්‍රමාණවත්
නැති නිසා එසැණදී ම “මරණානුස්සතිය” ද වඩා
එහි මුල ද ගලවා දැමිය යුතුයි.
බුදුන් වහන්සේ සූත්‍ර ධර්ම ගනනාවක සඳහන් කළ පාඨයක් ඇත.
එනම්,
“එතං
සංතං එතං පණීතං
යදිදං
සබ්බ සංඛාර සමථො
සබ්භුපදිපටි
නිස්සග්ගො
තන්හක්ඛයො
විරාගො නිබ්බානන්ති”
මෙහි අර්ථය වන්නේ
එතං සංතං
එතං පණීතං
එ තැනම සං
උපදින තැනම එ තැන ම ප්‍රහානය කරන්න
යදිදං සබ්බ
සංඛාර සමථො
එ නම් සියළු
සංඛාර “සමථ” කරන්න
සබ්භ උපදිපටි
නිස්සග්ගො
සියළු උපාදාන
බැමි ගලවා හරින්න (සමථය
ඉක්මවා ගොස් විපස්සනාව අනුව) එවිට
තන්හක්ඛයො විරාගො නිබ්බානන්ති
“තැනකට හා වීම” (තන්හාව) කැපී ඉවත් වෙයි රාග විරාග වෙයි
බානෙන් බිඳී - නිබ්බාන වෙයි
එතං සන්තං
යනු, පංච නීවරණයන් විසින්, නැතහොත් රාග දෝස මෝහ ත්‍රිත්වය (සං) විසින්, තම සිත තුළ
ක්‍රියාත්මක වීමෙන්, සිත තුළ යම් වෙනසක් ඇති වෙන්න පටන් ගත් බව එතුනදීම වටහා
ගැනීමයි.
එතං පණීතයං
යනු, ආස්වාදයක් විදීම එතැනදීම යටපත් කිරීමයි. (නීවරණ විග්‍රහයේ අංග 5 කට බෙදා ඇත්තේ
ද රාග දෝස මෝහ යන ප්‍රධාන කෙළෙස් 3 මය)
(මෙහි තිබෙන මෙම ගැඹුරු අර්ථය නොදුටු අටුවා පරිවර්තක
බුද්ධඝෝෂ හිමියන් මෙහි එන “එතං සංතං එතං පණීතං” පාඨය “තෙළ ශාන්තය තෙළ ප්‍රණීතය” කියා ඉතා “බොළඳ ළාමක” අර්ථයක් දී ඇත. බුදුන්
වහන්සේ දේශණා කර තිබෙන කිසිම ධර්ම පාඨයක එවැනි බොළඳ ළාමක අර්ථ නැති බව, තදින්
සැළකිය යුතු සත්‍යයකි.)
එනම්, බුද්ධ වචනය අනුව, අප විසින් අපේ මුළු දිවියම ට
එක් කර ගත යුතු එකම ප්‍රතිපදාව වනුයේ,
1. සිත
තුළ පවතින ගැටුම්කාරී කලබලකාරී ඇදෙන බැඳෙන සිතුවිලි ඉවත් කර නිසංසල කිරීම
2. ඒ
පැවති කලබලකාරී ස්වභාවය වෙත නැවත යාමට නොදී සිත හසුරුවා ගැනීම
3. සිත
තුළ පැවති රාග ද්වේශ මෝහ සිතුවිලි ඉවත් කර සිත ශූණ්‍යාගාරයක් කර ගැනීම
4. සිත
තුළට එන අරමුණු කෙරෙහි විමසිල්ලෙන් සිටීම
5. ඒ
අරමුණු අතුරින්, හේතු ඵල දහම අනුව, මතු ණය උගුලක නොපැටලැවෙන, එසේම සසරින් ගැලවී
යාමට උපකාරී වන අරමුණු පමණක් ඉතිරි කරගෙන ආශ්‍රය කිරීම
6. ඉතිරි
අරමුණු, එනම්, හේතු ඵල දහම අනුව, මතු ණය උගුලක පැටලැවෙන, එසේම සසරින් ගැලවී යාම
වලක්වන අරමුණු, ඉතිරි කර නොගෙන ප්‍රහානය කිරීම
7. එම
ප්‍රහානයන් කරන කරන තැනදී ම, සෑම අරමුණක් ම අනිච්ඡ දුක්ඛ අන්ත්ත වන බව මෙනෙහි
කරමින්, සිත තුළ පවතින නිච්ඡ සුඛ අත්ත ආකල්ප මරා දැමීම (අනිච්ඡ සංඥාව වැඩීම
හෝ මරණානුස්සතිය යනු මෙයයි)
සෝතාපන්න
ඵලයේ සිට ඉදිරියට තිබෙන අරිය මගඵල සියල්ලම සාක්ෂාත් කර ගැනීම පිණිස වැඩිය යුතු එකම
ප්‍රතිපදාව මේ ප්‍රතිපදාව මයි.
බුද්ධ
දේශණාවේ, “ආනාපානාසතිසමාධිය” ලෙස දක්වා තිබෙන්නේත්, “සතර සතිපට්ඨානය” ලෙස දක්වා තිබෙන්නේත්,
චතුරාරක්ඛා ලෙස දක්වා තිබෙන්නේත්, “එතං සන්තං එතං පණීතං....... ගාථා පාඨයේ දක්වා
තිබෙන්නේත්, “සබ්භපාපස්ස අකරණං..... ගාථා පාඨයේ දක්වා තිබෙන්නේත්, ‘සේවිතබ්බා අසේවිතබ්බා’
ලෙස දක්වා තිබෙන්නේත්, ‘අසේවනාච බාලානං පණ්ඩිතානංච’ සේවනා දක්වා තිබෙන්නේත්, “මා මේ
බාල සමාගමෝ සතං සමාගමෝ හෝතී” දක්වා තිබෙන්නේත් මේ එකම එක මාර්ගය වන “අස්ස” සහ “පස්ස” නම් වූ මේ ක්‍රියාපටිපාටියම
යි.
“ආනාපානාසතිසමාධිය” බහුලව භාවිතා කිරීමෙන් “සත්තිස්බෝධිපාක්ෂික
ධර්ම” ම පූරණය වන බව බුදුන් වහන්සේ පුන පුනා දේශණෙ කර තිබෙනවා. එසේ පූරණය වන්නේ
කෙසේදැ’යි විග්‍රහ කර බලමු.
සත්තිස්බෝධිපාක්ෂික
ධර්ම කියන්නේ
1. සතර
සතිපට්ඨාන (4)
2. සතර
සම්මප්පධාන (4)
3. සතර
ඍද්ධිපාද (4)
4. පංච
ඉන්ද්‍රිය ධර්ම (5)
5. පංච
බල (5)
6. සත්තබොජ්ජංග (7)
7. අරියඅට්ඨංගිකමග්ග (8)
37
අප
වෙත එන එක් අකුසළ අරමුණක් ප්‍රහානය කිරීමේදී සිදුවන ක්‍රියාවන්
පද්දතිය ම සලකා බලමු.
මුලින්ම,
සිතෙහි මතු වන අරමුණ, ප්‍රහානය කළ යුතු අකුසළ අරමුණක් බවට හඳුනා ගැනෙනවා. එම හඳුනා
ගැනීම සිදුවන්නේ, හේතුඵල ධර්මයට බහා ගැලපීමෙන් සහ ණය විණය ට සැසඳීමෙන්, එනම් “සති”
යෙහි පිහිටීමෙන්. මේ ක්‍රියාත්මක වන්නේ, “සං” වලින් මිදී නිදහස් වීමේ පරමාර්ථයෙන්
කෙරන “සති” ය හෙවත් “සම්මා සති” යයි. ඊට අපව මෙහෙය වන්නේ “සං වලින් මිදිය යුතුයි,
මිදිය හැකියි කියන දැක්ම” හෙවත් “සම්මා දිට්ඨි” යයි. පැමිණි අකුසල් චිත්තය භාර නොගෙන
බැහැර කර දැමීමට හෙවත්, සං වලින් මිදී නිදහස් වන්නට “වෑයමක්” ද අප විසින් දරා
තිබෙනවා. එනම්, “සම්මා වායාම” ද අප තුළ ක්‍රියාත්මක වී තිබෙනවා. “සම්මා වායාම” ය
පූරණය වන විට සතර “සම්මප්පධාන” එනම්,
නූපන්
අකුසල් නූපදින වීර්‍යය
උපන්
අකුසල් ප්‍රහානය කරන වීර්‍යය
නූපන්
කුසල් උපදන වීර්‍යය
උපන් කුසල්
දියුණු කරණ වීර්‍යය කියන සතර පූරණය වෙනවා.
සතර
සම්මප්පධාන ක්‍රියාත්මක වීම යනු සතර සතිපට්ඨාන පූරණය වීම යි. එනම්.
·
කායේකායානුපස්සනා
o
රූපය පටිච්ච වීමේ සිට
එය පිළිබඳව විකෘති ඥාණදර්ශණයක් (විඤ්ඤාණයක්) තනා ඉන් “බව” සකස් කිරීම දක්වා ක්‍රියාවලිය
(ක්‍රියා 6ක්) නතර කිරීම (කාය යනු සිරුර නොව, ක්‍රියාකාරීත්වය යන අරුතයි)
§ එම
ක්‍රියා 6 මොනවාද කියා බලමු
1. චක්ඛු
කාය - ඇස ක්‍රියාත්මක වී රූපය තැනීම
2. චක්ඛු
කාය, රූප කායට පටිච්ඡ වීම
3. චක්ඛු
විඤ්ඤාණ කාය හට ගැනීම
4. ඉහත
3 ම එක්ව, සම්පස්සකාය බිහි කිරීම
5. සම්පස්ස
කාය විසින් සම්පස්සජා වේදනා කාය බිහි වීම
6. වේදනා
කාය විසින් “තන්හා කාය” බිහි කිරීම
මෙම
තන්හාව නිසා “බව” ඇතිවේ.
(අපි
සළකා බැලුවේ එක් ඉන්ද්‍රියක කායේ කාය (එක් ක්‍රියාවකින් අනෙක් ක්‍රියාව බිහි
වෙමින් යාම) පමණි. ඉන්‍ද්‍රියන් 6 ම ගත් විට කාය 36 ක් වෙති. සබ්භකාය යනු මේ කාය
36 යි)
·
වේදනාසුවේදනානුපස්සනා
o
කලින් තිබූ ආමිස වේදනාව
- නිරාමිස වේදනාවක් බවට හැරවීම
·
චිත්තේචිත්තානුපස්සනා
o
සංඛාර චිත්තය නැති කර,
විසංඛාර චිත්තයක් පිහිටුවා ගැනීම
·
ධම්මේසුධම්මානුපස්සනා
o
“සංතං” (“සං” වල
උප්පාදය, ඉපදීම), “අසංතං” (“සං” වල අනුප්පාදය, නූපදීම) බවට පත් කිරීම. මෙය සිදු
වන්නේ, පඤ්ච නීවරණ ධර්ම (කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ සහ
විචිකිච්ඡා) ඉවත් වීම නිසාය.
§ නීවරණ
ධර්ම මදක් විස්තර ලෙස,
o
කාමච්ඡන්ද - පඤ්ච
කාමයට ලොල් බව
o
ව්‍යාපාද - වෛරී අදහස්
o
තීනමිද්ධ - හැකිලුම්
සිත, අලස කම
o
උද්ධච්ඡ කුක්කුච්ඡ -
උදහස බව නිසා ඇති වන කුකුස
o
විචිකිච්ඡා - විකෘති
චිත්තය විසින් කෙළෙස් බැඳ ගැනීමට ඇති කරන කැමැත්ත ඉච්ඡාව
මෙතැනදීම ඡන්ද, චිත්ත, විරිය විමංසා කියන සතර
ඍද්ධිපාද ක්‍රියාත්මක වී හමාරයි. එනම් කෙළෙස් නැවැත්වීමේ කැමැත්ත, චේතනාව, වීර්යය
සහ අවධානය ක්‍රියාත්මකයි.
මේ වෑයමත් සමඟම, අකුසලයක් පැමින “පදුට්ඨ” වීමට ගිය
සිත, අකුසලයෙන් මුදවා, “පසන්න” වූ බැවින්, මනසින් කෙරෙන අකුසල් 3 ම එනම්, අභිජ්ජා,
ව්‍යාපාද සහ මිච්ඡාදිට්ඨි කියන 3 ම සිදු නොවේ. එනම්, මිච්ඡා සංකප්පය ඉවත් වී “සම්මා
සංකප්පය” උදා වෙයි. “මනසා චෙ පසන්නෙන භාසතිවා කරෝතිවා” යි දෙසූ ලෙස, වචනයෙන් කෙරෙන
අකුසල් වන මුසාවාදා, පරුසාවාචා, පිසුණාවාචා, සම්මප්පලාපා කියන 4 සිදු නොවේ. මේ
සම්මා වාචා ක්‍රියාත්මක වෙයි. එතැනදීම ක්‍රියාවෙන් කෙරෙන (කරෝතිවා) අකුසල් වන ප්‍රාඝාතයත්,
අදින්නාදානයත්, කාමමිච්ඡාචාරයත් කියන 3 ත්
නොකෙරෙයි. ඒ සමඟ ම, දස අකුසලයෙන්ම මිදෙන නිසා “සම්මා කම්මන්ත” ද පූරණය වෙයි. දැන්,
තුන් දොර ම සංවර ව පවතින නිසා, සතර සංවර ශීලය පූරණය වෙනවා. ඒ කියන්නේ “සම්මා ආජීව”ය
ද ක්‍රියාත්මකයි. “සමාධි” යන්නෙහි අර්ථය “සතියෙහි පිහිටා, සිත පිරිසිදු වන දෑ අස්ස
(ආශ්‍රය) කරමින් සිත අපිරිසිදු වන දෑ පස්ස (ප්‍රහානය) කරමින් සිටීමට සකසා ගන්නා
චිත්ත ඒකාග්‍රතාවය” බැවින්, ඉහත සියළු අංග පූරණය වෙනවා යි කියන්නේ, සම්මා සමාධිය ය
පූරණය වීමයි.
එසේ නම්, සතර අනුස්සතිය වඩමින් එක් අකුසලයක් වලක්වන
විට,
1. සතර
සතිපට්ඨාන
2. සතර
සම්මප්පධාන
3. සතර
ඍද්ධිපාද
4. පංච
ඉන්ද්‍රිය ධර්ම
5. පංච
බල
6. සත්තබොජ්ජංග
7. අරියඅට්ඨංගිකමග්ග
කියන
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ම පූරණය වන අන්දම පැහැදිළිව පෙනේ.
මේ සාකච්ඡා කළේ, එකම එක අකුසල අරමුණක් සිතට ඇතුල්
වන්නට තැත් කෙරුනු අවස්ථාවක එය නිරෝධ කිරීමට කෙරුනු ක්‍රියාන්විතය ගැනයි. මෙම
ඉතිරි ජීවිත කාළා පුරා සෑම තත්පරයකදීම, මුඛ 6 තුළින් සිතට රිංගීමට තැත් කෙරෙන
සියළුම අරමුණු මත මෙම ක්‍රියාන්විතය, නොකඩවා, ඒකාකාරව පවත්වාගෙන යාමට අපේ සිත හුරු
කර ගැනීම තුළින් අපට කෙළෙස් සියල්ලෙන්ම සදහට ම මිදී නිදහස්ව “පරමං සුඛං” වන
නිබ්බානය පූරණය කරගත හැකි වනු නොඅනුමාන ය. මෙම ප්‍රතිපදාව සෑම තත්පරයදීම
නිරායාසයෙන් අකණ්ඪව ක්‍රියාත්මක වනවා නම් ඒ අරිහත් ඵලයේ ස්වභාවයයි. එතැනට අපේ සිත
හුරු කිරීමයි අප විසින් ගත යුතු උත්සාහය වන්නේ.
මෙතනදී කෙනෙකුට ගැටලුවක් මතු වෙන්න පුළුවන්, “අපි
මෙතෙක් ගොඩ ගසා ගෙන තිබෙන කෙළෙස් සහ කෙළෙස් නිසා බිහි කරගත් කම්ම ඉවත් කරන්නෙ කොහොමද?”
කියලා.
මුළින්ම කෙළෙස් ගැන බලමු.
ධර්මයේ සඳහන් වෙනවා “ආසය, නැත්නම් ආසව”
සහ “අනුසය” කියලා කරුණු දෙකක්.
·
“ආසය, නැත්නම් ආසව”
කියන්නේ දැනටමත් “මගේ කොට” සිත තුළ ගොඩ ගසාගෙන තිබෙන විඤ්ඤාණ (වැරදි ඥාන දර්ශණ) පොදි
වලට. “ආ+සය, නැත්නම් ආ+සව” වචන බැලු බැලුමට පේනවා, මේ දැනටමත් ඇතුලට
“ආ” (පැමිණි) “අස්ස (ආශ්‍රය) කරන” කියන අර්ථය තිබෙන බව. බුද්ධ දේසනාවේ සඳහන්
හැටියට, “ආසය, නැත්නම් ආසව” වල ජීව කාළය දින 7 කි පමණයි. අළුතින්
එවැනි යමක් ඇතුලට දා ගත්තෙ නැති නම්, දින 7 ක් යද්දී අපේ සිත හිස් වෙන බවයි එහි
අර්ථය. නමුත්, අපි දිගින් දිගටම අළුත් අළුත් ඒවා ඇතුලට දමා ගන්නා නිසා, කිසි ලෙසක
වත් සිත හිස් වෙන්නෙ නෑ.
·
“අනුසය” වචනය “අන +
සය” එනම් “මෙතෙක් ආශ්‍රයට නොගත්” ලෙස පෙනෙනවා. එහි තේරුම, “අළුතෙන් ආශයට ගන්නා”
හෙවත්, “එම මොහොතෙහි අළුතෙන් ඇතුලට එන” ලෙසයි. මේ තමයි, ඉන්ද්‍රයන් 6 තුළින් එම මොහොතෙහි
සිතට රිංගා ගන්නා විකෘති ඥාණ දර්ශණ හෙවත් විඤ්ඤාණ පොදි.
ඉන්, අනුසය බිහි වීම කියන ක්‍රියාකාරකම, සතර කමටහන්
වලින් වලක්වන්න, නවත්වන්න පුළුවන්. ආසය ඉවත් වීම දින 7 ක් තුළදී නිරායාසයෙන් ම
වෙනවා.
එහෙම නම්, පෙර කළ කම්ම වලට විසඳුම
කුමක්ද?
පෙර කළ කම්ම වලට පිනෙන් වන්දි ගෙවා, කමා කරවා ගෙන,
අපේ නිවන් ගමනට ඒවායින් කෙරෙන යම් භාධාවත් තිබෙයි නම් එම “කම්මාවරණ” ඉවත් කර ගත
හැකි වෙනවා.
කෙසේ වෙතත්, කම්ම ඵල ලෙස එන්නට තිබෙන විපාක නම් විඳින්නටම
වෙනවා. එහෙම නූනොත් හේතු-ඵල ධර්මය බොරුවක් වෙනවා නෙ. බුදු පියානන් වහන්සේ පවා එසේ
කම්ම විපාක අත්විඳි බව ධර්මයේ පෙනෙන්න තිබෙනවා. අති ප්‍රබල කම්ම එනම් ගෙවා නිම කර
නැති ආනන්තරීය පාප කම්ම වැනි දෑ තිබෙයි නම්, සිරි සද්ධර්මය අසන්න දකින්න වත්
ලැබෙන්නේ නැති බවයි ධර්මයේ තිබෙන්නේ. එනිසා කමා කරගෙන පිනෙන් වන්දි ගෙවා අපේ අරිය
ගමන සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කිරීමයි කළ යුතු.
කමා කරගන්නා පිළිවෙත
දිනකට දෙවරක් වත්, පහතින් දක්වන පාඨයන්, එහි අර්ථය
මුළු සිතින්ම මෙනෙහි කරමින්, කියවීමෙන් කමා කරගත හැකි වනු ඇත.
දීර්ඝ සංසාරයේ මා පැමිණි ගමන අතර තුර, අනේක
වාරයක් බුදු පසේ බුදු අරිහත් උත්තමයින් හටත්, ඒ උත්තමයින් වහන්සේලා දේසනා කර වදාළ
සද්ධර්මයටත් මහා සංඝයා වහන්සේලාටත්, අරිය පුග්ගලයින්ටත් හිංසා පීඩා නිග්‍රහ පරිභව
කරන්නට ඇති. මා අතින් වූ ඒ සෑම අකටයුත්තකට ම, ත්‍රිවිධ රත්නය ම මා කෙරෙහි අනුකම්පා
කොට, මට කමා කරත්වා! කමා කරත්වා!! කමා කරත්වා!!!
දීර්ඝ සංසාරයේ මා පැමිණි ගමන අතර තුර,
මට ඥාති වූ සතුරු මිතුරු වූ සියළු සත්තයා වෙත, මා මෙතෙක් කරගෙන ඇති සියළු පින් කැප
කර, පතුරා, අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා! ඒ සියළු පින්, වන්දියක් ලෙස අනුමෝදන්
කරගෙන, මා අතින් දැන හෝ නොදැන සිදු වුණු සියළු හිංසා පීඩා නිග්‍රහ පරිභව, අකටයුතු
කම් වලට මට කමා කරත්වා! කමා කරත්වා!! කමා කරත්වා!!! ඒ අකටයුතුකම් නිසා මා කරගත්
සියළුම ණයෙන් මා නිදහස් කරත්වා ! නිදහස් කරත්වා !! නිදහස් කරත්වා !!!
ඒ සියළුම සත්වයෝ සුවපත් වෙත්වා. ඒ
සියළුම සත්වයෝ අමා මහ නිවනින් ම සැනසෙත්වා ! නිවනින් ම සැනසෙත්වා !! නිවනින් ම
සැනසෙත්වා !!
මෙය මෙනෙහි කිරීම පුරුද්දක් වශයෙන්
කරගෙන යාම අගනේය.
සාධු ! සාධු !! සාධු !!!
Comments
Post a Comment